පසුගියදා වේයන්ගොඩ පාලමක් අසළදී වාහනයක ගමන්කරමින් සිටියදී වෙඩි වැදී මියගිය උදම්මිට සමරේ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ එක් සැකකරුවකු පෑලියගොඩ කොට්ඨාස
අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්
පෙරේදා (31දා) දහවල් වේයන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සිද්ධියේ ප්‍රධාන සැකකරු මාලිගාතැන්නේ චාමර නමැත්තාගේ සොහොයුරකු බව පොලිසිය පවසයි.
සිද්ධිය දවසේ වෙඩි තැබීම සඳහා පැමිණි වාහනය පදවා ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු විසින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
වේයන්ගොඩ, මාලිගාතැන්නේ පදිංචි 28 හැවිරිදි සැකකරු මියගිය උදම්මිට සමරේ නමැත්තාගේ කිට්ටුම හිතවතකු ලෙස කලක් සිටි මාලිගාතැන්නේ චාමර නමැත්තාගේ මල්ලි බව පොලිසිය වැඩිදුරටත් පවසයි. ඔහු ඊයේ (1දා) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මිනුවන්ගොඩ - අතුකෝරල