පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විසඳීමට ගිය අවස්ථාවේ එම නිවෙසේ හිමිකරු විසින් නිෂ්පාදනය කළ බවට සැකකරන ව්‍යාජ රන් කහවණු (මරංචි) තොගයක් සමඟ නිවෙස් හිමියා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියකු හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව
අනුරාධපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ නිවෙසක තිබී රන්පැහැ ගැන්වූ කරවිල ඇට හැඩයෙන් යුතු යකඩ කැබැලි
ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ බිරිය විසින් සැමියා අඩන්තේට්ටම් සිදුකරන බවට අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඇය විසින්ම සැමියා ව්‍යාජ රන් කහවණු නිපදවන බව පොලිස් නිලධාරීන්ට ඔත්තුව ලබාදුන් බව වැටලීම සිදුකළ පොලිසිය පැවැසුවේය. පොලිස් නිලධාරීන් නිවෙසට ගිය අවස්ථාවේ මේසයක් මත රන් පැහැ තීන්ත ආලේප කළ පත්තර කොළ කැබැල්ලක් තිබෙන අයුරු දැක නිවෙස සෝදිසියට ලක් කළ අවස්ථාවේ භාවිතයට ගත් රන්පැහැ තීන්ත ස්ප්‍රේ ටින් තුනක් සොයා ගත් බව පොලිසිය පැවැසුවේය.

පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ රන් කහවණු නිෂ්පාදනයට භාවිත කළ කුඩා යකඩ අච්චුවක් සමඟ කරවිල ඇටයට සමාන හැඩයෙන් යුතු රන්පැහැ යකඩ කැබලි ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාජ රන් කහවණු ලබාදී පුද්ගලයන් මුළා කිරීමේ කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වන බව පොලිසිය තහවුරු කරගෙන ඇත.

සැකකරු පෙරේදා (31දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. සැකකරු සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය