වැඩ පටන්ගන්නේ 2019
මුලින් ලංකාවට විකුණන ඩීසල් වාහන විතරයි


අද කුලියාපිටියේදී ඉදිකිරීම ඇරඹෙන
වොක්ස්වැගන් කම්හලේ ඇත්ත සහ නැත්ත


අද කුලියාපිටියේ ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී යුරෝපානු වොක්ස්වැගන් සමාගමේ ඒජන්ත සමාගමක වාහන එකලස් කරන මධ්‍යස්ථානයකට මුල් ගල තැබෙයි.
යහපාලන මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රමුඛ පොරොන්දුවක් ඉටු කරන මේ අවස්ථාවට ජනපති හා අගමැති දෙදෙනාම සහභාගී වෙති.
ජර්මනියේ වොක්ස්වැගන් සමාගම යනු ටොයොටා හා ජෙනරල් මෝටර්ස් යන ප්‍රධාන සමාගම් දෙක සමග කරට කර තරග වදින ලෝක වාහන වෙළෙඳ පොළේ විශාලතම පංගු කරුවෙකි.
වොක්ස්වැගන් සමාගම නිපදවන්නේ වොක්ස්වැගන් වාහන පමණක් නොවන අතර කවුරුත් හඳුනන අවුඩි, ලැම්බෝගිනි, ප්‍රොෂේ වෙළ‍ඳ නාම යටතේ වාහන නිපදවන්නේද
ඔවුන්මය.ඊට අමතරව
 SEAT, ŠKODA, Bentley, Bugatti, Ducati, Scania,MAN ආදී නාමයන් යටතේද ඔවුහු වාහන නිපදවති.
ලෝකයේ වාහන නිපදවන අමුද්‍රව්‍ය සහිත රටවල ඔවුන්
නිෂ්පාදන කම්හල් අරඹා ඇති අතර එසේ නොවන නමුත් බෙදැහැරීමේ වෙළෙඳ වාසි ලබාගත හැකි පිහිටීම් ඇති රටවල ඔවුන් වාහන එකලස් කිරීමේ කම්හල් අරඹා ඇත.

බලසම්පන්න වෙළෙඳ නාමයක් පැවතීම නිසා මෙම වාහන අලෙවිය සම්බන්ධ ලෝකයේ කොතනත් ඔවුනට ගැටලුවක් නැති අතර එවැනි එකලස් කරන ව්‍යාපාරයක් අත්පත් කරගැනීම ලංකාව වැනි රටකට කදිම ආයෝජන අවස්ථාවකි.

මෙම ආයෝජනය සිදු කළේ සෙනොක් නමැති දේශීය සමාගමයි. ඔවුනට ඒ සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති අනුමැතිය රජය මගින් සැපයුවේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක මුදලක් සපයමිනි.
සෙනොක් සමාගම යනු ලංකාවට 2005 සිට වොක්ස්වැගන් ,අවුඩි ඇතුළු වාහන ගෙන්වූ ජර්මනියේ නියෝජිත ඒජන්ත ආයතනයයි. ජර්මානු වොක්ස්වැගන් මව් සමාගමින් මෙරට එකලස් මධ්‍යස්ථානයක් ඇති කිරීමේ අවසරය ඒ නිසා ඔවුනට පහසුවෙන් ලබාගත හැකිවී තිබේ.

ලංකාවේ වාණිජ වාහන,පතල් කැනීම් ව්‍යාපාරය,යන්ත්‍රෝපකරණ. ට්‍රක්රථ ගෙන්වීම,තේ අපනයනය ඇතුළු අනුබද්ධ සමාගම් 16 ක් සෙනොක් ජාලය සතුවන අතර ඔවුන් ‘යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය‘ නමින් කුලියාපිටියේ ඉදිකරන මෙම දැවැන්ත එකලස් කිරීමේ මධ්‍යස්ථානය මගින් ඉදිරියට  විශාල රැකියා අවස්ථාද දායාද කරනු ඇත.

අද මුල්ගල තැබෙන මෙම කම්හල ඉදිකිරීම අවසන් කරන්නට වසර දෙකහමාරක් ගතවන අතර ඒ අනුව මෙහි වැඩ ඇරඹෙනු ඇත්තේ 2019 මැදදීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, උපුල් ජයසූරිය මහතා සහ සෙනොක් ඔටෝ මොබයිල් (පෞද්) සමාගමේ ප්‍රධානී නොයෙල් සෙල්වනායගම් මේ සම්බන්ධ 2015 අගොස්තු මස අත්සන් තබනු ලැබූ ආයෝජන
ගිවිසුමේ 17 වන වගන්තිය යටතේ, ආරම්භයේදී මෙම කම්හලේදී 1000 cc හා 2000 cc දක්වා ඩීසල් වාහන පමණක් එකලස් කරනු ඇත.

මෙම වාහන අවසරය ලැබ ඇත්තේ මගී මෝටර් රථ ,ක්‍රීඩාවාහන , SUV රථ, බහු උපයෝගිතා වාහන (MUV) හෝ වාණිජ වාහන වෙනුවෙනි.
ආරම්භයේදී මෙම වාහන වසර 3 ක කාලයක් සඳහා දේශීය වශයෙන් පමණක් අලෙවි කරන්නටත්  ඉන් පසුව නිෂ්පාදනය වාහන විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කරන්නටත් අපේක්ෂිතය.

ඩීසල් වාහන එකලස් කිරීමට ආරම්භයේදී පවතින රීතිය පෙට්රල් / විදුලි / හයිබ්‍රිඩ් වාහන සඳහා අපනයන ඉල්ලුම අනුව පසුව වෙනස් කරනු ඇත.
මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම මාස 24 ක කාලයක් ඇතුළත ආයෝජනය කරන්නටද නියමිතය.
මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් නියමිතය.
එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ද ලබාදීමට සැලසුම් ඇති බව හෙළි කර තිබේ.