දිවුලපිටිය හේරත් ප්‍රා.ලේකම්වරිය
පස්කැපීම ගැන කථාකරයි


පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයක් පවත්වා ආන්දෝලයකට මැදිවූ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය වන එච්.එම්.එන්.එස්. හේරත් මහත්මිය එම සිද්ධියට මුල්වූ පස් කැපීම් කටයුතු ගැන සතිඅන්ත පවත්පතක් කළ විමසීමකදී දන්වා ඇත්තේ ඇය පස් කියුබ් 61,000ක් කපා ඇති බව දන්නේ නැති බවයි.
මෙම කාරණාව තමාට අදාළ නොවන බවත් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයට අදාළ ගැටලුවකට
තමන්ට උත්තර දෙන්නට බැරි බවත් කියමින් ඇය ඒ ගැන විස්තර කළ ආකාරය පහතින්

පස් කැපීමේ බලපත්‍ර නිකුත් කිරීම ගැන ඔබ දැනුවත්ද?

නෑ. නෑ.

ඔබ ඒ ගැන කිසි දෙයක් දන්නේ නැද්ද?

මේ බලපත්‍ර නිකුත් කරන්නේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්. අපි හරහා නෙවෙයි. වසර ගණනාවක ඉහත සිට ඒ අයයි නිකුත් කළේ. ගිය අවුරුද්දේ පමණක් අලුත් කිරීමේදී දිස්ත්‍රික් කමිටුවකට දාලා පරිසර අධිකාරිය, පුරාවිද්‍යා, භූ විද්‍යා කමිටුවකට දාලා එතැනින් පස්සේ තමයි අයැදුම්පත ඇවිත් තියෙන්නේ.

ඔබතුමිය දන්නේ නෑ කිව්වට දිස්ත්‍රික් කමිටු තීන්දු ඔබතුමියට එනවනේ?
ඒ කමිටුවේ අනුමත වුණාට පස්සේ අවුරුදු ගණනාවක සිට කපපුවා ඔක්කෝම ඉවර කළා. ගිය අවුරුද්දේ පමණයි කමිටු නිර්දේශය මත දුන්නේ.

නිර්දේශයක් නැතිවයි බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ?
ඔව්.

වතුර නෑ. දූවිලි ප්‍රශ්න, පොළොව ඉරිතැළීම් ගැන පැමිණිලි ඔබතුමියට ලැබිලා තියෙනවද?
ඔව්. ඒවා භූ විද්‍යා එකට සහ පරිසර අධිකාරියට දාලා පරීක්ෂණත් දාලා තිබුණේ. ඔය කෑගහන්නෙ ඊට ඉස්සර. ඔව්, ඔව් ඔය කෑගැහුවේ ඊට ඉස්සර.

ඔබට අවසර තියෙනවා පස් කියුබ් 100ක් කපන්න අවසර දෙන්න. ඒත් පස් කියුබ් 61,000ක් කපලා. ඒ ගැන දන්නෙම නැද්ද? දැක්කෙම නැද්ද?
අෑ. අෑ... මොකක්ද?

(මම නැවත ප්‍රශ්නය යොමු කළෙමි.)

ඒක මම දන්නේ නැහැ. භූ විද්‍යා එකෙන් දුන්නේ කීයද කියලා.

ඔබට මේ ගැන සම්බන්ධයක් නෑ කියා මඟහරින්න පුළුවන්ද?
භූ විද්‍යා එකෙන් අහලා බලන්න.

වසර තුනක් තිස්සේ ජනතාව පැමිණිලි කළ ඒවාට මොකද වුණේ?

(ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් පිළිතුරක් නැත)

ඔබතුමියට බැනපු එකට නීතිමය පියවර ගන්නවද?
පිළිතුරක් නැත.
මාධ්‍යයට ඒවා කියන්න බැහැ. (යාන්තමින් ඇසෙයි)

පස් කැපීම ගැන ඔබට කිසිම ගනුදෙනුවක් නැහැ.
කිසිම ගනුදෙනුවක් නෙමෙයි, අපි කළේ දිස්ත්‍රික් කමිටුවට සහභාගි වන එක විතරයි.

ඔබට ආපු පැමිණිලිවලට ගත් පියවර මොකක්ද?
නිහඬයි.

ප්‍රාදේශීය ලේකම්තුමිය දුරකතනය විසන්ධි කළාය
.

(සටහන -ප්‍රගීත් සම්පත් කරුණාතිලක)