විජිත ෆිනෑන්ස් ප්‍රධාන විධායක ශ්‍රීනික මතකධීර
හොරණදී වෙඩි තබා ඝාතනය වේ

අද උදෑසන හොරණ පොලිස් වසමේ ඉලිබ හන්දියේදී මෝටර් රථයකින් ගමන් කළ මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින්  ඝාතනය විය. ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු ගමන් කළ හොන්ඩා වර්ගයේ වාහනය පාර අයිනේ නවතා
තිබුණ බවක්ද වාර්තා විය.
සිද්ධියෙන් අනතුරුව අවට සිටි අය කලබලයෙන් එතැනට දිව එද්දී සැකකරුවන් පළා යන හැටි දැක ගන්නට ලැබී තිබේ.

මෙම සිදුවීම උදෑසන 7.55 ට පමණ වාර්තා වී තිබේ.ඔහු සිය නිවසේ සිට කාර්යාලයට ගමන් කරමින් සිටියදී සිද්ධිය සිදුව ඇත.
මෙලෙස ඝාතනය වූයේ  ශ්‍රීනික නිමේන්ද්‍ර මතකධීර නමැති විජිත ෆිනෑන්ස්  මූල්‍ය ආයතනයේ ප්‍රධානියෙකු ලෙස හඳුනාගෙන තිබේ.

පාදුක්ක හොරණ පාරේ ගලගෙදර පිහිටා තිබෙන විජිත ෆිනෑන්ස් නමැති වාහන ලීසිං ලබාදීමේ සහ ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.
47 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු ඉංගිරිය ඇදුරගල පදිංචිව සිටියේය.
ඔහු කිසියම් පිරිසක් සමහග කළ ගනුදෙනුවක අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට සාක්ෂි ලැබෙමින් පවතී. වෙඩි තැබීම සඳහා භාවිත කර තිබුනේ ටී56 ගිනි අවි වන අතර මෙම ඝාතනය සිදු කරන අවස්ථාවේ වාහන බඳ තුළටද වෙඩි වැදී ඇත.
මතකධීර මහතා රියදුරු අසුනේම ඝාතනය වී සිටි අතර මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තුරු සිරුර ඉවත් නොකර පැවතිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණය පවත්වයි.