2017 මැයි 12,13,14 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල පැවැත්වෙන ආකාරය ගැන බුද්ධ හාසන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

2017 මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
පැවැත්වෙන අතර, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වේ.
මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.

ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගීවන අතර, වෙසක් දින උළෙල සංවිධානය කිරීම සඳහා අමාත්‍ය අනු කමිටුව හා මෙහෙයුම් කමිටු 10ක් ක්‍රියාත්මකවන අතර එම කමිටු විසින් සිදු කරන සියලු කාර්යය භාරයන් වෙන වෙනම අධීක්ෂණය කරමින් එම කමිටුවල සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව දැනටමත් සතුටට පත්ව ඇත.

සංඝරාජ හිමිවරුන්, මහා නායක හිමිවරුන්, ජත්‍යන්තර බෞද්ධ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ රාජ්‍ය නායකයින්, විදේශ ආරාධිතයන් ඇතුළු නියෝජිතයින්, නීරීක්ෂකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම උළෙලට සහභාගීවන බවත් මේ වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්, විශේෂ දළදා පෙරහැරක් හා මහා සංස්කෘතික උළෙලක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන අතර දියවන්නා වෙසක් කලාපය, බෞද්ධ අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන්, බෞද්ධ සැරසිලි, දානමය පූජාවන් ඇතුලු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එම කටයුතු සංවිධානය කර ඇති බව වෙසක් දින ලේකම් කාර්යාලය පවසයි.