ශ්‍රී ලංකාවේ ජීවත් වන පුද්ගලයන්ගෙන් ලක්ෂ 8කට අධික පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු ගත කර තිබෙන අතර එයින් වැඩිම පිරිසක් කාන්තාවන් බව ජාතික මානසික සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.

ඇය මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති "ලෝක සෞඛ්‍ය දිනය - 2017" පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට එක් වෙමිනි.

වාර්ෂිකව ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව "විෂාදය - අපි කතා කරමු" යන්නයි. එළැඹෙන අප්‍රේල්
මස 7 වැනි දින නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරන අතර, මානසික සුබසාධනය ප්‍රවර්ධනය සඳහා මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවත් ඇය පැවැසුවාය.

මොළයේ ඇති වන රසායනික වෙනසක් නිසා විෂාදය රෝගයට ගොදුරු වන අතර එම තත්ත්වය ඇති වීමට ජෛව සාධක, මනෝ සාධක, පාරිසරික සාධක හේතු වන බවත් මනසේ ඇති සිතුවිලි, හැඟීම් සහ චර්යාවන් යන ප්‍රධානම අංශ තුනටම මෙම රෝගය බලපාන බවත් ඇය පැවැසුවාය.
ලෝකයේ ජීවත් වන පුද්ගලයන්ගෙන් මිලියන 350ක් විෂාදයෙන් පෙළෙන අතර ළමයින් මෙන්ම වැඩිහිටියන්ද මෙම රෝගයට ගොදුරු වී සිටින බවත් මෙම රෝගී තත්ත්වය වැළැක්වීමේ හැකියාව තිබුණද ජීවිතයට අපවාදයක්, කැළලක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට යොමු නොවී විෂාදය සඟවාගෙන බොහෝ දෙනකු ජීවත් වන බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් පහසුවෙන් මිදිය හැකි බවත් වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කීවාය.

මෙහි රෝග ලක්ෂණ වශයෙන් කුසගින්න නොදැනීම, බර අඩු වීම, වැඩිපුර නිදා ගැනීම, අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වීම, නිතර කෝපයට පත් වීම, හිසරදය ආදී විවිධ ලක්ෂණ පෙන්නුම් කරන බවත් විෂාදය සාමාන්‍ය මට්ටමක පවතී නම් පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කොට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව පවතින බවත් මෙම තත්ත්වය වර්ධනය වුවහොත් අවසානයේදී පුද්ගලයා සියදිවි හානි කර ගැනීමේ තත්ත්වයට පවා පත්වීමට ඉඩ තිබෙන බවත් ඇය පැවැසුවාය.
විෂාදයට ගොදුරු වීම නිසා හෘද රෝග සහ පිළිකා සෑදීමේ අවදානම මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීමේ හැකියාවද ඇති විය හැකියි ඇය කීවාය.
(උදයන්ති මුණසිංහ)