සෙනග බලන්න ඇවිත් ලැජ්ජා හිතිලා
නූල සමග බනිස කෑ
පුද්ගලයා රෝහලින් අතුරුදහන්


පසුගියදා බලපිටිය කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැති අලුත් අවුරුදු උත්සවයක පැවැති බනිස් කෑමේ තරගයකදී නූලක් සමග බනිස් ගෙඩියක් ගිලදැමූ 42 හැවිරිදි පුද්ගලයකුට පසුව උදරයේ නූල පැටලීම මත අසාධ්‍ය රෝග ලක්ෂණ මතුවුණා.
ඔහු අනතුරුව බලපිටිය මූලික රෝහලට ඇතුළු කළ අතර එහිදී
වෛද්‍යවරුන් දන්වා තිබුනේ ඔහුට හැකිතරම් ජලය පානය කරන ලෙසයි.

ජලය අධික ලෙස පානය කිරීමෙන් බනිස් ගෙඩිය දියවී යාමත් අනතුරුව නූලද මතුවී එය මළ පහ සමග පිටවීමේ හැකියාව ඇති කරන්නට වෛද්‍යවරුන් උත්සාහ ගෙන තිබුණි. නමුත් ඔහු ජලය කෙතරම් පානය කළත් ඒ බලාපොරොත්තු වූ ආකාරයට බනිස් ගෙඩිය දියවී ගොස් නැත. මේ නිසා උදරයේ සිරවූ නූල ඉවත් කිරීමට සැත්කමක් කිරීමට වෛද්‍යවරුන් සූදානම්ව සිට තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන මාධ්‍ය ඔස්සේ ලැබුණ ප්‍රචාරයෙන් පසු බලපිටිය රෝහලට අවට පෙදෙස් වලින් විශාල පිරිස් ඇදී ඇවිත් තිබෙන්නේ නූල සමග බනිස ගිල්ල අය දැක බලාගැනීමේ ආශාවෙනි. රෝහලේ වෙනත් ලෙඩුන් බලන්නට ආ අයද ඒ ලෙඩුන් බලා යන්නට මත්තෙන් බනිස් කෑ පුද්ගලයා බලන්නටත් ඔහුගේ ඡායාරූප දුර සිට ලබාගන්නටත් උත්සාහ කර තිබේ.
මෙම සංසිද්ධිය නිසා අතිශය ලජ්ජාවට පත්ව සිටි බනිස කෑ පුද්ගලයා මුහුණ රෙදි කඩකින් පොරවාගෙන රෝහලේ පැය ගණනාවක් සිටි බව සඳුදා සවස වාර්තා වූ අතර ඉන් ටිකකට පසු වාර්තාවූයේ ඔහු රෝහලින් අතුරුදන්ව ඇති බවයි.
සැත්කමකට සූදානම් කර තිබුණ රෝගියෙකු මේ ආකාරයට අතුරුදන්වීම වෛද්‍ය කාර්ය මණ්ඩලයටද දැන් ගැටලුවක් බවට පත්ව ඇත.