සිය අනියම් සැමියා තවත් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම නිසා කෝපයට පත් හිඟුරක්ගොඩ ජන උදානගම ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් බක් පුර පසළොස්වක පෝයදා යෙදී තිබුණු පෙරේදා (10දා) පොළොන්නරුව මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අවිවාහක පොලිස්
කොස්තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා ඇත.
මේ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.
පෙරේදා (10දා) සවස 2.30ට පමණ හිඟුරක්ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි වන්දඹු කාන්තාවගේ නිවෙසේදී මෙලෙස ඇය රහසඟ කපා ඇත.
සිය පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව, විවාහ කර ගැනීමේ පොරොන්දුව මත, කොස්තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට, ඇය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.
මේ අතර එම කොස්තාපල්වරයා වෙනත් කාන්තාවක් සමඟ  සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත ඊට උරණ වූ වැන්දඹු කාන්තාව සහ කොස්තාපල්වරයා අතර අවස්ථා ගණනාවකදී බහින් බස්වීම් සිදුවී අමනාපකම් සිදුවී ඇත.
ඉන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි වැන්දඹු කාන්තාව පෙරේදා (10දා) තම නිවෙසට පැමිණි කොස්තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
 කොස්තාපල්වරයාගේ අනියම් බිරිය වන වැන්දඹු කාන්තාව හිඟුරක්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (11දා) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය
කදුරුවෙල - විපුල් ප්‍රියන්ත