කින්නියා ප්‍රදේශයේ පාසල් භූමියක් තුළ දී නාඳුනන පුද්ගලයෙකු සිසුවෙකුගේ රුධිර සාම්පල ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 05 වැනිදා අදාළ සිසුවා පාසලේ ක්‍රිඩා පිටියේ විවේක කාලය තුළ ක්‍රිඩා කරමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු
පැමිණ රුධිර සම්පල් ලබාගෙන ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන් වෙයි.

හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා පවසා ඇත්තේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් තම රුධිර සම්පල ලබාගත් බවයි.

අදාළ සිසුවා මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ දිනවල මෙවැනි රුධිර සාම්පල ලබාගැනීමේ සංවිධානත්මක සිද්ධියක් පිළිබඳ වාර්තා වන බැවින් අදාළ සිසුවාගේ එච්.අයි.වී.රුධිර පරික්ෂාවක් සිදුකිරීමට ද රෝහල් අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.