http://www.gossiplankanews.com/2017/05/hokandara-elder-couple-deaths.html

හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී 
සැමියා මියගොස්
පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ

වෙසක් පොහෝ දින(10) රාත්‍රියේ දකුණු හෝකන්දර රත්නාරාම පාරේ නිවෙසක් තුළ යුවළක් අභිරහස් ලෙස මියගොස් දුගඳක් හමන්නේ යයි පොලිසියට ලැබුණ තොරතුරක් මත පරීක්ෂා කර බැලීමේදී එම නිවස හිමි 68 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මියගොස් තිබුණ බව හඳුනාගන්නට ලැබුණ අතර ඒ අසළ නිරුවතින් වැටී සිටි ඔහුගේ 70 හැවිරිදි බිරිය සිහිවිකල්ව බිම වැටී සිටියත් හුස්ම වැටෙන බව මරණ පරීක්ෂකවරියට තේරුම්යාම නිසා
වහා රෝහල් ගත කරන්නට කටයුතු යොදා තිබේ.

මාලබේ රත්නාරාම මාර්ගයේ පස්වන පටුමගෙහි පදිංචිව සිටි සුසන්ත ද සිල්වා නමැති මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ශිරාණි නිරංජලා විජේසිරි නමැති විශ්‍රාමික ගුරුවරියට දරුවන් සිට නැත. ඔවුන් ඥාතීන් හෝ අසල්වැසියන් සමග වැඩි සබඳතාවයක් පවත්වාද නැත. පොලිස් අධිකාරීවරයා විශ්‍රාම යාමෙන් පසු අංශභාග රෝගයට ගොදුරුවී එක්තැන්වී සිටි අතර ඔහුට ආවතේව කරමින් රැකබලාගෙන සිට ඇත්තේ ඔහුගේ බිරියයි.

වෙසක් පොහොය දවසේ මෙම නිවස අවට නිවාසවල වාසය කළ අය විවේකයෙන් සිටියදී වෙනදාට නොදැනෙන අමුතු දුර්ගන්ධය හමන්නේ කොහි සිටදැයි පරීක්ෂාකාරී වී තිබේ. ඒ අනුව අසල්වැසියන් එක්වී අවට සෝදිසි කරද්දී මෙම දුගඳ හමන්නේ පොලිස් අධිකාරිවරයාගේ නිවසින් බව සැකහැර දැනගෙන තිබේ. එම නිවසේ සීනුව නාද කළද ප්‍රතිචාර ලැබී නැත.ඔවුන් සතුව තිබුණ එම නිවසේ දුරකථන අංක වලට කථාකළද ප්‍රතිචාර නොමැතිවීමෙන් පසු නිවසේ තාප්පයෙන් පැන පරීක්ෂා කිරීමට අසල්වාසීන් උනන්දුවී ඇත. එහිදී නිවසේ ජනෙල් වලින් එබිකම් කිරීමට ඔවුනට හැකිව ඇති අතර නිවස තුළ යුවළම බිම වැටී සිටින අයුරු දැකගන්නට ලැබී තිබේ.

දුටු දෙයින් බියට පත්වූ අසල්වැසියන් වහාම 119 අමතා අතුරුගිරිය පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කර තිබේ.
දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වෙසක් පොහෝ දින රාත්‍රියේ ‍හදිසි මරණ පරීක්ෂකවරිය සමග පොලිසිය එහි ගොස් නිවසේ දොර කඩා විදුලි පහන් දල්වා පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් ඔහුගේ බිරියත් යන දෙදෙනාම නිරුවතින් බිම වැටී සිටින අයුරු දැකගන්නට ලැබී තිබේ. පොලිස් අධිකාරවරයාගේ සිරුර ඇඳක් අසළ තිබුණ අතර හිස තිබුනේ ඇඳ යටට වෙන්නටය.සිරුරින් අධික දුගඳක් හැමූ අතර ඔහු මියගොස් ඇති බව පෙනී යන ලදි.නමුත් ඔහුගේ බිරිය නිවසේ දොරක් අසළ හරහට වැටී සිටි අතර මරණ පරීක්ෂකවරිය ඇය වෙත ගොස් ශබ්ද කර බැලීමේදී හිස හරවා ප්‍රතිචාර දක්වා ඇත. අපහසුවෙන් සිටි ඇය යන්තමින් හුස්ම ගන්නා බව මරණ පරීක්ෂකවරියට ඒත්තු ගොස් ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවී ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහල් ගත කරන්නට කටයුතු යොදන ලදි.
පොලිස් අධිකාරවරයාගේ සිරුර පශ්චාත් පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.
 පොලිසිය නිවස ඇතුළත සිදු කළ නිරීක්ෂණය අනුව කිසියම් පිරිසිඳු කිරීමේ කටයුත්තක් බාගෙට කරද්දී මෙම මරණ සිදුවී ඇති බවට හෝඩුවාවන් ලැබී ඇත. කෙසේ වෙතත් පිරිමි පුද්ගලයාගේ මියගිය සිරුරින් දුර්ගන්ධය හමනතුරු දින දෙකතුනක්ම කාන්තාව මේ ආකාරයට පණ ඇතිව වැටී සිටීමද පොලිසියේ අවධානයට යොමුවූ කරුණකි. නිවස කොල්ලකන්නට කිසිවෙකු උත්සාහ දරා ඇති බවට සාක්ෂියක් තවම හඳුනාගෙන නැත. දෙදෙනාම නිරුවතින් සිටියේ ඇයිදැයි යන්නද පැහැදිලි නැත.

මෙම යුවළට සිදුවූ දේ තේරුම් ගන්නට තවම හැකියාව ලැබී නැති අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් අධිකාරවරයාගේ බිරිය ප්‍රකෘති තත්වයට පත්වුවහොත් වැඩි විස්තර ලබාගතහැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

තොරතුරු - අයිරංගි එදිරිසිංහ