ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන සියලුම මුදල් නෝට්‌ටු ගනුදෙනු සඳහන් නීතියෙන් වලංගු යෑයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (09 දා) මහ බැංකු මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.


හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් අත්සන් තබන ලද රු. 5000 නෝට්‌ටුවේ නීතිමය වලංගුභාවය පිළිබඳව තහවුරු කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු කර තිබූ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. මහ බැංකුව මගින් නිකුත් කර ඇති මුදල් නෝට්‌ටු සම්බන්ධයෙන් මහ බැංකුව වගකියන බව ද ලෝකයේ වෙනත් රටවල ද විදේශිකයන් මහ බැංකු අධිපති ධුර දරා ඇති බව ද ආචාර්ය කුමාරස්‌වාමි මහතා කීවේය.

මෙම චෝදනාව නිසා අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් යුත් මුදල් නෝට්‌ටු පිළිබඳ මහජනතාව තුළ සැකයක්‌ ඇතිවිය හැකි බවට කළ විමසුමට පිළිතුරු දුන් අධිපතිවරයා ඒ ගැන ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමක්‌ කරන බව ද පැවසීය.