වරක්‌ ෂෙහාන් බරණගේ "මියගොස්‌ ඇතැයි" පුවතක්‌ රටට අනාවරණය විය. එය සැබෑවක්‌ නොවූ මුත් එය ඔහු ඉදිරියේ "මරුවා" පවා පරාජයට පත්වූ අවස්‌ථාවක්‌ බඳුය.

තමන් සමීපයේ පසු වූ පුද්ගලයන් විසි තුන් දෙනකුට මරු මුවට පත්වෙමින් සහ තවත් විශාල පිරිසක්‌ තුවාලකරුවන් බවට පත්වන අවාසනාවන්ත දසුන දෑසින්
දැකගනිමින් තවදුරටත් ජීවත්වීමේ වරම ඔහුට හිමිවූ එම අමිහිරි මතකය ඉතිහාසයට එකතු වී මේ වනවිට වසර 18 ක්‌ ගතව ඇත. තම සමීපයෙහි වූ සත්පුරුෂ මිනිසුන් රැසක්‌ මරණයට පත් කරවමින් නිමා වූ එම සිදුවීම ඔහුව තවමත් වරින්වර කම්පනයට පත් කරන සුළුය. මෙනෙහි කිරීම තුළ පවා "දුක උපදවන"
1999 වර්ෂයේ කළු අඳුරු උඳුවප් මතකයට ගොඩවෙමින් ෂෙහාන් බරණගේ කල් ඉකුත් නොවන මතකයන් අවදි කරන්නට විය.

"ඔය කියන කාලය වෙද්දි මම සේවය කරන්නෙ සිරස රූපවාහිනියෙ. මට පැවරිල තිබුණේ ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ එතුමියගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා වෙලා හිටිය වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන රැස්‌වීම් ආවරණය කරන එක."

මේ වනවිට දෙරණ රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ලෙස වගකිවයුතු නිලයක්‌ හොබවන ෂෙහාන් බරණගේ එසේ පවසමින් නගර සභා රැළිය පිළිබඳ මතකය අවදි කරන්නට විය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ එක ඇසක්‌ අහිමි කරවමින් ඇයගේ ආරක්‍ෂකයන් ඇතුළු පුද්ගල මරණ 23 ක්‌ සිදු කරමින් පිපිරී ගිය මිනිස්‌ බෝම්බය හෙවත් මරාගෙන මැරෙන කොටි කාන්තාවක්‌ විසින් සිදු කළ මහා විනාශය මරණය පෙනි පෙනී සියෑසින් දුටු ෂෙහාන් බරණගේ නැවතත් සිය කටහඬ අවදි කළේය.

ඇත්තටම ඒක "යක්‍ෂයාගේ හෝරාව" කියල කිව්වොත්

නිවැරැදියි. ඒ තරමට බිහිසුණු අත්දැකීමක්‌ ඒක. මම මුල ඉඳලම කියන්නම්.. ඒ සිද්ධිය වෙද්දි රාත්‍රී 9.10 ට පමණ ඇති. ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනිය රැස්‌වීම අමතල ඉවරවෙලා වේදිකාවෙන් බැහැල එතුමියගේ කාර් එකට ගොඩවෙන්න ගමන් කරමින් හිටියෙ. ඒ වෙද්දි මගේ කැමරා ශිල්පියා හිටියෙ වේදිකාව මත. ඔය දවස්‌වල එතුමිය කරපු යම් ප්‍රකාශකයක්‌ ගැන රටේ තරමක කතා බහක්‌ ඇතිවෙලා තිබුණේ. ඒ ගැන යම් අදහසක්‌ ජනාධිපතිතුමියගෙන් දැන ගන්න ඕන කියල අදහස්‌ කරන මම කැමරා මයික්‌ එකත් අරන් එතුමිය සමීපයට ලංවෙමින් හිටියෙ. මොකද මට උවමනා වෙලා තිබුණ එතුමියගේ කඩහඬින් අර මම කිව්වෙ එතුමිය ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළා කියල. අන්න ඒක ගැන වැඩිදුරටත් තොරතුරු විමසලා ඒ පිළිබඳ හොඳ ප්‍රවෘත්තියක්‌ රටට දෙන්න. ඒත් එතුමියත් මාත් අතර අඩි කීපයක පරතරයක්‌ තිබිද්දී තමයි ඒ විනාශය සිද්ධ වෙන්නෙ.. මට මතකයි.. විශාල පිපිරීමක්‌ එක්‌ක අවට හිටිය පිරිස කෙසෙල් කඳන් වගේ බිම වැටෙනව. මමත් ඒ අය අතර ඉන්නව. පුදුමය කියන්නෙ මගේ සිහිය නැති වෙන්නේ නෑ. ඇස්‌ දෙක පේනව කන්දෙන ඇහෙනව. හැබැයි මට කෙළින් හිට ගන්න බැහැ. හුස්‌ම ඉහළට ගන්න බැහැ. වචනයට නගන්න බැරි අපහසුවක්‌ මට දැනෙන්න ගන්නව. එහෙම මොහොතක ඕනෑම කෙනකුට මරණීය සිතුවිලි පහළ වෙන එක වළකන්න බැහැනෙ. මටත් ඒක පොදුයි. හැබැයි විශ්මය කියන්නෙ මම මේ හැම දෙයක්‌ම දකිනව. ඇත්තම කියනව නම් ඒ සිදුවීමෙන් පස්‌සෙ මාව මුණගැහුන බෝම්බ සම්බන්ධ විශේෂඥ දැනුමක්‌ සහිත කීපදෙනෙක්‌ මගෙ එක්‌ක කියනව ඒ වගේ කම්පනයක්‌ තුළ බෝම්බයකට ගොදුරු වූ කෙනෙක්‌ සිහි කල්පනාවෙන් ඉන්නව කියන්නෙ සුවිශේෂී තත්ත්වයක්‌ කියල.

"කොහොම හරි මිනිස්‌ බෝම්බය පුපුරණ අවස්‌ථාවේ ජනාධිපතිනිය හිටියෙ දැඩි ආරක්‍ෂක රැකවල් මැද. මම දැක්‌ක ඇය බෝම්බයට ගොදුරු වෙනවත් එක්‌කම ඇයගෙ ආරක්‍ෂකයන් එක පොදියක්‌ විදිහට ඇයව වහගන්නව. ඒකහරි පුදුම සහගත දර්ශනයක්‌ තව පිරිසකගේ කකුල් නැහැ. මස්‌ වැදලි හැමතැනම. දැන් මමත් ඒ අසල වැටිල ඉන්නව. මාවත් මරණයට පත් වෙයි කියන සිතුවිල්ලෙන් ඉන්න ගමන් මම කරන්නෙ මගේ කන්දෙක අල්ලනව. ඊට පස්‌සෙ කකුල් දෙක අතගාල බලනව කකුල් දෙකත් තියෙනව. හැබැයි මගේ කලිසම ඇඟේ නැහැ. ඒක පිච්චිල තොප්පිය ජැකට්‌ එක නැහැ. ඒවත් පිච්චිල. ඒ අතරේ මම දකිනව ආරක්‍ෂක අංශ විසින් ජනාධිපතිනියව නගර සභා පිටියෙන් රෝහලට රැගෙන යන දර්ශනය. ඒ අතරෙ මම කෙළින් හිටගන්න නැවත නැවතත් උත්සාහ කරනව. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ.

"වේදිකාව අසල නතර කරල තිබුණ බෙන්ස්‌ රථ දෙකෙන් ඉදිරියෙ තිබුණ බෙන්ස්‌ රථයෙන් තමයි එතුමියව රෝහලට රැගෙන යන්නෙ. එතැනදී සිද්ධ වුණ සංවේදීම දෙයක්‌ තමයි ඒ වෙද්දි එතුමියගේ රියෑදුරා බෝම්බයට ගොදුරුවෙලා මිය යැම. මොකද මම දන්න දෙයක්‌ තමයි ජනාධිපතිනියගෙ රියෑදුරා කාර් එකට නගින්න එතුමිය කාර් එකට ගොඩ උනාට පස්‌සෙ. එදත් වෙන්නෙ ඒක. ඒ අතරතුර තමයි ඔහු බෝම්බයට ගොදුරු වෙන්නෙ. ඔය වෙද්දී අනෙක්‌ බෙන්ස්‌ එකේ ඩ්‍රයිවර් විදිහට කටයුතු කළේ බෝම්බෙන් මියගොස්‌ හිටිය රියෑදුරාගේ පුතා. ඒ කාර් එක මෙරූන් පාටට හුරු එකක්‌. එයා තමන්ගෙ තාත්ත මැරිල වැටිල හිටිත්දීත් ජනාධිපතිතුමියගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් ඇයවත් රැගෙන රෝහලට පිටත් වෙනව. ඇත්තටම ඒක හරි සංවේදී සිදුවීමක්‌. මම අදත් ඔහුව දකින්නෙ තමන්ගෙ රාජකාරිය ඒ අයුරින් ඉටු කළ සැබෑ මිනිසෙක්‌ විදිහට. මම රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගන්න අවදියේ ඔහු මගේ සැපදුක්‌ බලන්නත් එනව. මොකද ඔය සිද්ධිය වෙද්දී ජනාධිපති ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඊට අමතරව කාර්ය මණ්‌ඩලයෙ අනෙකුත් සාමාජිකයන් ජනමාධ්‍යවේදීන් විදිහට අපි ඔය කවුරු කවුරුත් හරිම සමීපයි. ඇයි මාස ගාණක්‌ එකට වැඩ කරල තිබුණ හින්ද අපි අතරේ ලොකු බැඳීමක්‌ ඇතිවෙලා තිබුණෙ. ඇත්තටම මෙතනදී මතක්‌ කළ යුතු තවත් සිදුවීමක්‌ තමයි එදා බෝම්බය පුපුරණ අවස්‌ථාවේ මගෙ එක්‌ක වැඩ කළ සිරස රූපවාහිනියේ සහාය කැමරා ශිල්පි ඉන්දික පත්තිනිවසම් එම සිදුවීමෙන් මිය යනවා. මම ඒක දැනගන්නෙ මාස 3 ක්‌ විතර ගියාට පස්‌සෙ. ඊට අමතරව මගේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ කමල් කරුණාරත්න... ඔහුගේ කකුලක ලොකු ඔපරේෂන් එකක්‌ කරනව. ඔහු නැවත රාජකාරියට එන්නෙ වසරකට විතර පස්‌සෙ. මම ඒ අනතුරින් පස්‌සෙ වසර 1 1/2 ක්‌ ප්‍රතිකාර ගන්නව. මෙතැනදී සිහිපත් කළ යුතුම කාරණයක්‌ තමයි සිරස ආයතනය විසින් කළ මා ගැන සොයා බැලීම. මොකද මගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මාව විදේශයකට රැගෙන යන්න පවා ඒ අය තීරණය කරලා තියෙනව. එසේ පවසමින් මදකට නිහඬ වූ ෂෙහාන් බරණගේ ඉන් අනතුරුව ඔහු ඇතුළු තුවාල ලත් අනෙකුත් පිරිස රෝහල්ගත කිරීමට ආරක්‍ෂක අංශ දැරූ උත්සාහයත්, රෝහල තුළදී තමන් අත්විඳි සිදුවීම් පිළිබඳවත් යම් මෙනෙහි කිරීමක නිරත විය.

නගර සභා බෝම්බයෙ ගොදුරක්‌ වෙලා ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී විවාහවෙලා මාස හයයි. මට ඇයව මතක්‌ වෙන්න ගන්නව. මගේ මරණයෙන් පස්‌සෙ ඇගේ ඉරණම ගැන සිහිපත් වෙනව. එවෙලෙ මම විඳින ශාරීරික වේදනාව පරයන වේදනාවක්‌ බවට ඒ මතකය පත්වෙනවා.

ඔන්න ඔය අතරෙ තමයි තුවාලකරුවන්ව රෝහලට රැගෙන යන්න එස්‌. ටී. එෆ්. ටීම් එකක්‌ එක්‌ක බස්‌ එකක්‌ වේදිකාව අසළට ළඟා වෙන්නෙ. ඒ අතරේ තමයි මියගිය අය අතර මමත් ඉන්නව කියල එක්‌තරා රූපවාහිනී චැනල් එකකින් ප්‍රචාරය කරල තියෙන්නේ. ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ මට මොනව උනාද කියල ඒ වෙද්දී කවුරුත් හරියට දැනගෙන නොසිටි හින්දයි.

"තුවාලකරුවන් රෝහලට රැගෙන යන්න ආපු අයට මම කෑගහල කියනව මාව ඉක්‌මනට ගෙනියන්න කියල ඒ අය අතරේ මගේ හිතවත් එස්‌. ටී. එෆ්. නිලධාරියෙක්‌ හිටිය. ඔහුගේ නම දිමුතු. දැන් ඔහු තමයි බෝම්බ නිෂ්ක්‍රීය අංශයෙ ප්‍රධානියා. ඔහු මාව හඳුන ගන්නව. මාව රෝහලට ගෙනියන්න කියලා මම කෑගහද්දී ඔහු කියනව "පොඩ්ඩක්‌ ඉවසන්න.." කියල. අන්තිමට මාව බස්‌ එකට ගත්තෙ අනෙක්‌ සියලුම තුවාලකරුවන් බස්‌ රථයට ගත්තට පස්‌සෙ. පස්‌සෙ කාලෙක තමයි මම දැනගත්තෙ එදා මාව එහෙම පමාවෙලා බස්‌ එකට අරන් තියෙන්නේ මාව මුලින්ම රෝහලට ඇතුළත් කරන්න කියල."

තමන් ඇතුළු තුවාලකරුවන් රෝහලට රැගෙන යන විටත් පියවි සිහියෙන් පසුවී ඇති ෂෙහාන් බරණගේ ඇතුළු තුවාලකරුවන්ගේ ජීවිත තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්‌ඩලය තමන්ගේ වැඩ කොටස අරඹා ඇත්තේ ඉන් අනතුරුවය. කොළඹ ජාතික රෝහල වෙත, තමන්ව රැගෙන යන අයුරුත් ඉන් අනතුරුව තුවාලකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුවූ අයුරුත් ඔහු විසින් විස්‌තර කරන්නට විය.

"ඒ වෙද්දී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා විදිහට වැඩ කළේ වෛද්‍ය හෙක්‌ටර් වීරසිංහ මහත්තයා. ඔහු සහ මා අතර කලින් ඉඳන්ම හිතවත්කමක්‌ තිබුණා. මොකද ඒ දවස්‌වල මාධ්‍ය මගින් නිතර කියෑවෙන නමක්‌ තමයි වෛද්‍ය හෙක්‌ටර් වීරසිංහ. මාව දැකපු ගමන් එතුමා ඔලුවෙ අත තියාගත්ත. මාව කෙළින්ම ගන්නේ තියටර් එකට. මේව මට පේනව. වෛද්‍යවරු හෙදියො දුවගෙන එනව. එතැන මහා කලබලයක්‌. සමහරු ආවෙ යුනිෆෝම් නැතුව. මට මතකයි ඩොක්‌ට කියනවා "මට යුනිෆෝම්වලින් වැඩක්‌ නැහැ. තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන්න කියල"... හැබැයි ඒ වෙද්දි වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තිබුණ පොඩිඅවුලක්‌ හින්ද ඊට ඉස්‌සරින්දා වෙනකම් ස්‌ට්‍රයික්‌ එකක්‌ තිබුණ. .පොඩි වෛද්‍ය හිඟයක්‌ මේ සිද්ධිය වෙන අවස්‌ථාවෙත් තිබුණා. කොහොම හරි ඒ වෙද්දි තියටර් එකේ නිර්වින්දන වෛද්‍යවරයෙක්‌ නැහැ. මම මේ කියන වෛද්‍යවරයා ඒ වෙද්දී රාජකාරි කළේ මාතලේ හරි බණ්‌ඩාරවෙල හරි රෝහලක. දැන් මට ඒක හරියට මතක නැහැ. ඔහු මගේ හිතවතෙක්‌. මාව රෝහල් ගත කරද්දී ඔහු නුවර යන ගමන් ගම්පහ ඉඳල තියෙන්නෙ. මේ ආරංචියත් සමඟ ඔහුගේ ගමන අතරමග නතර කරල ජාතික රෝහලට එනව. ඔය වෙද්දි රෝහලට කමාන්ඩෝ ආරක්‍ෂාව දීල තිබුණෙ. කොහොම හරි මුලින් ඔහුට තියටර් එකට එන්න ආරක්‍ෂක අංශ ඉඩ දෙන්නේ නැහැ. ඔහුව දකින මම අතින් සංඥ කරල කියනව එන්න දෙන්න කියල." ඩොක්‌ටර් මගෙ ළඟට ඇවිත් ෂෙහාන් කියල කතා කරනව. එවෙලේ මම ඩොක්‌ටර්ගෙන් අහනව "මාව මැරෙයිද?" කියල. ඒ වෙද්දි මම අහන්නෙම ඒක. මොකද මට මරණ භය තදින්ම දැනිලනෙ තියෙන්නෙ. ඔය අතරේ ඊගඊගCග මාධ්‍යවේදියෙක්‌ මගේ ළඟට ඇවිත් අහනව මම කවුද කොහෙන්ද ආවෙ කියල. ඒ වෙලාවෙම මට කතා කරන්න තරමක්‌ අපහසුයි. මම ඇඟිල්ලෙන් එතන තිබුණු වීදුරු ජනේලෙක ලියනව ඵගඔගඪග කියල. ඒ වෙද්දිත් මම දන්නෙ නැහැ මගේ ඇඟේ මොනවගේ ඩැමේඡ් තියෙනව ද කියල හැබැයි ඇඟෙල් ලේ පිටවෙමින් තිබුණ බව මමදකිනව. ඔය අතරේ තමයි ශල්‍යකර්මයක්‌ කරන්න මාව සූදානම් කරන්නෙ. ඒ වෙලාවෙ අර මගේ හිතවත් වෛද්‍යවරයා කියනවා" ඔයා බය වෙන්න එපා.. මම ඔයාව බලාගන්නම් කියල. ඉන් අනතුරුව ෂෙහාන්ගේ ජිවිතයේ වගකීම මුළුමනින්ම පැවරී ඇත්තේ වෛද්‍යවරුන් වෙතය. පැය ගණනක්‌ පුරා සිදු කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව පියවි සිහිය ලබන ඔහුට දැකගත හැකි වන්නේ තමන්ගේ ශරීරය තුළ විවිධ වෛද්‍ය උපකරණ සවිකර තිබෙන අයුරක්‌ ය. බරපතළ ලෙස තමන්ව රිදවන ශාරීරික වේදනා රැසක්‌ සමඟ පියවි සිහියට පිවිසෙන ෂෙහාන් බරණගේ ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාරවලින් අනතුරුව ඇතුළත් කොට ඇත්තේ ජාතික රෝහලේ 18 වැනි වාට්‌ටුව වෙතය.

" 18 වැනි වාට්‌ටුව කියන්නෙ ඒ කාලේ ජීවිතයයි මරණයයි අතර ඉන්න රෝගීන් රඳවන ස්‌ථානයක්‌. මමත් හිටියෙ මරණයට ඉතාම සමීපව වෙන්න ඇති. මට මතකයි. මගෙ බෙල්ල ප්‍රදේශයේ ඉඳල බඩ හරියට මැහුම් 48 ක්‌ ගහල තිබුණ එකම බාහිර තුවාලයක්‌වත් නැහැ. මගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට තමයි බෝම්බෙන් බරපතළ හානි සිදුවෙලා තිබුණේ. අදත් මගෙ ලිවර් එකේ, එක කකුලක බෝම්බ කොටස්‌ තියෙනව. වෛද්‍ය මතය වෙලා තියෙන්නේ ඒව ඉවත් නොකළ යුතුයි කියන එකයි. ඇත්තටම ඒ වෙද්දී කවුරුත් හිතුවෙ නැහැ මේ කතාව කියන්න මම ජීවත් වෙයි කියල. මොකද ඒ බෝම්බෙන් මගෙ සමීපයෙ හිටපු 23 දෙනෙක්‌ මියගිහින් මාව විතරයි ඉතිරි වෙන්නේ... ඒ දසුන දකින්න මම අවාසනාවන්ත වුණත් ජීවත් වෙන්න මට වාසනාව ලැබෙන්නෙ මටවත් හිතාගන්න බැරි අයුරින්නෙ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් පස්‌සෙ නැවතත් මම පුරුදු රස්‌සාව කරන්න මගේ "රාජකාරි" ආයතනයට යනව. මගේ පවුලේ අය, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මගේ හිතවතුන් කිසි කෙනෙක්‌ හිතුවෙ නැහැ. මම නැවත මාධ්‍ය ක්‍ෂේත්‍රයට එකතුවෙයි කියල. හැබැයි මම එහෙම වුණේa නැහැ. නැවතත් මම තෝරා ගන්නෙ ඒ දෙයමයි. ඒ සිදුවීමෙන් පස්‌සෙ ජීවිතය පිළිබඳ තිබෙන භය මට නැතිවෙලා යනව. ඒ වගේම ජීවිතයක තිබෙන අනිත්‍ය බව පිළිබඳ යම් වැටහීමක්‌ ලැබෙනව. ඇත්ත වශයෙන්ම දැන් වසර 10 ක්‌ තිස්‌සෙ දෙරණ රූපවාහිනි ආයතනය සමඟ එක්‌ව මම තෘප්තිමත් ගමනක්‌ යනව. මෙතෙක්‌ මා සතු ධනය ලෙස මට තියෙන්නෙ මගේ පුතා වන නිපුණ නීමිත බරණගේ. ඔහු තමයි මගේ ආයෝජනය. අධික වැඩ රාජකාරි මැද දෙරණ රූපවාහිනී ආයතනයේ ඔහුට හිමි අසුන මත හිඳ දෙරණ රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ෂෙහාන් බරණගේ එතෙක්‌ වේලා කරගෙන ආ කොළඹ නගර සභා බෝම්බය පිළිබඳ ත්‍රාසය හා භීතිය මුසු කතාබහ නිමාවට පත් කළේය.

රුවන් ජයවර්ධන (ඉරිදා දිවයින)