වෙසක් සමුළුවට පූජකවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි
පුද්ගලයා අත්අඩංගුවට

පසුගියදා ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ වෙසක් දින ජාත්‍යන්තර සමුළුවට කතෝලික පූජකවරයෙකු ලෙස සැරසී
පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු

පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අමුත්තන් ඇතුළට ගන්නා අවස්ථාවේ වෙනත් පූජකවරයින් සමග එක්ව ඇතුළුවීමට උත්සහ කර තිබුණ අතර සංවිධායකයින් පූර්වයෙන් පිරිනමා තිබුණ ආරාධනා පත්‍රය ඉදිරිපත් කිරීමට අසමත්ව තිබුණි.

කෙසේ වෙතත් එය රැගෙන එන්නට අමතක වූ බවක් කියමින් ඔහු ඇතුළුවන්නට වෑයම් කරද්දී ඔහුගේ ස්වරූපය ගැන සැක ඇතිවූ ආරක්ෂක අංශ වැඩිදුර ප්‍රශ්න කිරීමට පසෙකට කැඳවා ගෙන ගොස් ඇත.

මෙම පුද්ගලයාට තමාව පූජකවරයෙකු ලෙස තහවුරු කරදෙන වෙනත් පූජකවරයෙකුව හෝ නම් කිරීමට එම අවස්ථාවේ නුපුළුවන්වී තිබෙන අතර පසුව තමා පූජකයෙකු නොවන බව දන්වා ඇත.

දැඩි ආරක්ෂාවක් සලසා තිබුණ පරිශ්‍රයට මේ ආකාරයට සැකකටයුතු ලෙස පැමිණීම පසුපස මොහුගේ කිසියම් කඩාකප්පල්කාරී චේතනාවක් තිබුනේද යන්න පොලිසියේ සැකයට බඳුන්වූ අතර ඒ නිසා එදින ඔහු අත්අඩංගුවට පත් විය. පොලිස් භාරයේ සිටි ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට නියම කර ඇත.
ඔහු කවර හේතුවක් නිසා මේ ආකාරයට වෙස්වළාගෙන පැමිණියේද යන්න තවම හඳුනාගෙන නැත.