අරන් හදාගත් දුව සැමියා ලවා 
පියාව මරවා ගෙවත්තේ හැංගූ
වත්තලම කැළඹවූ වොල්ටර් ඝාතනය

පසුගිය සතියේ වත්තල කෙරවලපිටියේ ජනතාව ඔවුන්ගේ අසල්වාසී නිවසක අතුරුදන්වූ පුද්ගලයෙකු වෙනුවෙන් පාරට බැස තිබුණි. ඒ වරායේ සේවය කළ හිත හොඳ මිනිසෙකුවූ ‘වෝල්ටර්‘ නමැත්තෙකු වෙනුවෙනි. කොළඹ වරායේ දොඹකර මෙහෙයවීමේ දුෂ්කර රැකියාවෙන් විශ්‍රාම ලබා සිටි 65 හැවිරිදි හෙට්ටිතන්ත්‍රිගේ වෝල්ටර් නමැති අය පදිංචිව සිටි නිවසින් එක්වරම අතුරුදන්වීමත් නිවසේ විසූ ඔහුගේ බිරිය දියණිය යන දෙදෙනා ඔහු විදෙස්ගතවී ඇති බවට බොරුවක් පැතිරවීම සැකයට තුඩු දීමත් ඊට හේතු විය.
වත්තල කෙරවලපිටිය, සමගි මාවතේ අංක 128/1 නිවස වෝල්ටර්ට අයිතිවූ එකකි. ඊට යාබද පසුපස නිවසේ පදිංචිව සිට ඇත්තේ වෝල්ටර්ගේ වයෝවෘද්ධ මවයි. ටික දිනක සිට වෝල්ටර් නිවසේ පෙනෙන්නට නැති වීමත් අාසන්න දිනයක පැවති පවුලේ ඥාතී මංගල උත්සවයකට
වෝල්ටර් නැතිව බිරිය

හා දියණිය පමණක් සහභාගීවීමත් නිසා ඥාතීන්ට අසල්වැසියන්ට වෝල්ටර්ට කුමක් වූයේදැයි ප්‍රශ්නයක් ඇතිව තිබුණි.
ඔහුගේ දුරකථන අංකයට අමතන සෑම වාරයකම වෝල්ටර්ගේ බිරිය උත්තර දී තිබුණ අතර ඔහු ගැන විමසීමේදී ඇතැමුන්ට වෝල්ටර්ගේ බිරිය දන්වා තිබුනේ එයා මළ ගෙදරක ගිහින් යන්නයි. තවත් අයට කියා ඇත්තේ එයා හදිසියේ රට ගියා යනුවෙනි. කුමන රටට ගියාදැයි ඇසූ විට ඕස්ට්‍රේලියා ගියා යයි කියා ඇත. කෙසේ වෙතත් පසුපස නිවසේ සිටින වෝල්ටර්ගේ මව පවා නොදැන ඔහු ඕස්ට්‍රේලියාවට යාම ඥාතීන්ගේ සැකයට මුල් විය.
වෝල්ටර්ව වඩාත් සමීපව ආශ්‍රය කරන මෙරිල් නමැති ඥාතියකු තමාට නොකියා වෝල්ටර් රට යාම අදහන්නට බැරිදෙයක් ලෙස සැක කළේය. ඔහු වත්තල පොලිසියේ ස්ථානාධිපති එරික් පෙරේරා මහතාට මෙම සැකය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඒ අනුවයි.
උප ‍පොලිස් පරීක්ෂකයෙකු වොල්ටර්ගේ නිවසට ගොස් ප්‍රශ්න කළේ එයින් පසුය. වෝල්ටර්ගේ බිරිඳ වෝල්ටර් රට ගිය කතාව ඔහුටද පවසා ඇති නමුත් බිරියගෙන් සහ දියණියගෙන් ප්‍රශ්න කරද්දී ඔහුට ඔවුන් දෙදෙනාගේ හැසිරීම් රටාව පිළිබඳව සැකයක් මතුව තිබේ. පසුව ‍පොලිස් ස්ථානාධිපති වරයාද එම නිවසට ගොස් වෝල්ටර්ගේ හැඳුනුම්පත් අංකය ඉල්ලා ඇත. එවිට ඔහුගේ දියණිය කියා ඇත්තේ පියා ඔස්ට්‍රේලියා යාමට ගුවන් තොටු‍පොළට තමාද ගොස් ඇරලූ අවස්ථාවේ සියලු ලිපි ලේඛන රැගෙන ගිය බවයි. ඒ නිසා කිසිදු ලියවිල්ලක් හෝ හැඳුනුම්පතද නිවසේ නොමැති බවය.
කෙරවලපිටිය ග්‍රාම නිලධාරීවරයා හරහා වෝල්ටර්ගේ හැඳුනුම්පත් අංකය ලබාගත් පොලිසිය වෝල්ටර් විදෙස්ගත වූයේ දැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කළත් ඔහු විදෙස් ගතවී නොමැති බව තහවුරු කරගන්නට හැකි විය.
ඒ අනුව මෙතැන අමුත්තක් සිදුව ඇතිය යන සැකය මත පරීක්ෂණ වේගවත් විය.
වෝල්ටර් ගැන පොලිසිය සොයන ආරංචිය අසල්වාසීන්ටද සැලවූ අතර  වෝල්ටර්ගේ බිරිඳත්, ඇගේ දියණියත් දියණිය විවාහවී සිටි බව කියන ඒ නිවසට ආව ගිය පුද්ගලයාත් නිවසින් අතුරුදහන් වීමත් සමඟ ‍පොලිසිය ඔවුන් සොයන්නටද තොරතුරු එකතු කර තිබුණි. මෙම ඝාතන පරීක්ෂණ වේගවත් කරන්නැයි අසල්වාසීන් බැනර් අතතියාගෙන උද්ඝෝෂණයකද නිරත විය.
‍පොලිසිය යද්දී නිවස වසා තිබූ අතර, අධිකරණ අවසරය මත එය වහා විවෘත කර බැලීමේදී වෝල්ටර් සුරතලයට ඇති කළ සුනඛයා ද නිවසේ විය. ‍පොලිසිය නිවස ඇතුළත පරීක්ෂා කිරීමේදී ‍සියලු වැදගත් යයි කියන ලියවිල්ලක් හොයාගන්නට බැරි විය. කෙසේ වෙතත් එළියේ බිත්තියක් අසළ ලේ පැල්ලම් කිහිපයක් සැකයට බඳුන්ව තිබුණි.

මේ අතරවාරයේ පළාගිය බිරිඳ සහ දියණිය මෝදර – මට්ටක්කුලිය ප්‍රදේශයෙන්ද දියණියගේ සැමියා එඩේරමුල්ල ප්‍රදේශයෙන්ද, පෙරේදා (08) අත්අඩංගුවට ගන්නට හැකි විය.

ඔවුන් පැවසූ කරුණු අනුව වෝල්ටර් ඝාතනය කර එම නිවස අසළම වළදමා ඇති බවට තොරතුරු සියල්ල හෙළිදරව් කර ගැනීමට ‍පොලිසියට හැකියාව ලැබුණි. එම නිවසේ බලු කූඩුවක් තබා තිබුණ තැන පොළව යට සරමක ඔතා තිබුණ වෝල්ටර්ගේ මළ සිරුර ගොඩගැනීමට ඒ අනුව පොලිසියට හැකියාව ලැබිණි.
තම පියා වන වෝල්ටර් දිගින් දිගටම තම තෙවැනි විවාහයට විරුද්ධවීම නිසා තමා හා රහසේ විවාහ ගිවිසගත් ද්‍රවිඩ ජාතික සැමියාව නිවසට ගෙන්නාගැනීමේ දුෂ්කරතාවයක් පැවති බවත් පියාගේ මුදල් හා වත්කම මත සියල්ලන් යැපුණ නිසා පියාගේ තීරණයට එරෙහිවීමේ හැකියාවක්ද නැතියෙන් අවසානයේ ඔහුව තම සැමියා ලවා මරාදමන්නට තීරණය කළ බව මෙම සිද්ධිය මත අත්අඩංගුවට පත් වොල්ටර්ගේ දියණිය පොලිසියට පාපොච්චාරණය කර තිබුණි.

ඥාතීන්ගේ හෙළිකිරීම් අනුව වොල්ටර්ගේ දියණිය ඩෙප්නා දිල්රුක්ෂි (24) දරුවන් නැතිව සිටි වෝල්ටර් හා බිරිය රෙජිනා මීට වසර 24 කට පෙර අරන් හදාගත් දරුවෙකි.ඇයට උපරිම සැප සම්පත් ලබාදී ආදරයෙන් හදාවඩාගන්නට වෝල්ටර් කටයුතු කර තිබුණ නමුත් ඇය හැමවිටම පියාට ගරුසරුවක් නැතිව සිටි දියණියක බව පැවසේ. පියාගෙන් මුදල් ලබාගෙන ඒවා නාස්තිකරන දියණියක වූ ඇය වයස 24 ක් වෙද්දී විවාහ තුනකට සම්බන්ධවූ අතර ඇය ඇගේ මුල් විවාහ දෙකම අසාර්ථක කරගෙන ඒවාට වගකිව යුත්තේ පියා යයි දෝෂාරෝපණය කරන්නියක වූ බවද පැවසේ.

දෙවැනි විවාහයේ තරුණයාට තම පියා මරාදමන ලෙස උපදෙස් දෙමින් ලියුමක්ද ලියවා තිබූ ඇය ගැන කලකිරීමෙන් පසු එම තරුණයා මෙම නිවසට ඇවිත් එම ලියමන බිත්තියේ අලවා ගොස් තිබූ බවද පැවසේ. කැලණිය ප්‍රදේශයේ තේ
කර්මාන්තශාලාවක සුපවයිසර්වරයකු වූ ද්‍රවිඩ ජාතික තරුනයෙකු සමග සිය පියාට හොරා මීට ටික
කලකට ඉහතදී ඇය නැවතත් පෙම් සබඳතාවයක් ගොඩනගාගෙන තිබුණ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වීරප්පන් ඇන්ටනී විනෝ ප්‍රගාෂ් නමැති 32 හැවිරිදි ඔහු සමග ඇය පියාටත් නොකියාම නීතියෙන් විවාහ ගිවිසගෙනද තිබේ.නමුත් දෙදෙනාටම නිවසක් නොවූයෙන් එක්ව වාසය කරන්නට හැකියාවක් තිබී නැත.
ඇය බලාපොරොත්තුවෙන් සිට ඇත්තේ පියාව පසුව කැමති කරගන්නටත් වත්තල නිවසට ඔහුව රැගෙන එන්නටත්ය. නමුත් පියා දිගින්දිගටම විරුද්ධවී ඇති අතර තමා වරාය සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ලැබුණ රුපියල් ලක්ෂ 80 කට ආසන්න අර්ථසාධක මුදල මෙම විවාහය කරගත්තොත් සතයක්වත් වියදමට නොදෙන බවද වෝල්ටර් දන්වා ඇත.
කෙසේ වෙතත් දිල්රුක්ෂි දියණියට මවගේ කැමැත්ත ලබාගන්නට හැකියාව ලැබී ඇති නමුත් වෝල්ටර් එම දෙදෙනාවම විවේචනය කර ඇත.
මෙම කරුණු කාරණා මත වෝල්ටර් සැලසුම්සහගතව මරාදමන්නට ඇය තීරණය කර තිබේ.වෝල්ටර්ගේ බිරිඳගේ සහාය ද එයට ලැබී තිබේ.

ඉකුත් අප්‍රේල් මස 23 වැනිදා සවස් කාලයේදී වෝල්ටර් නිවසේ සිටි වේලාවක් බලා දිල්රුක්ෂිගේ සැමියා වන වීරප්පන් ප්‍රගාෂ් නිවසට පැමිණ සිය කාමරයේ ඇඳේ වෝල්ටර් නිදාගෙන සිටියදී කෑගැසීම අවට අයට නොඇසෙන
පරිදි කටට රෙදි කැබලි ඔබා පසුව පිහියකින් ඇන මෙම ඝාතන සිදු කර ඇති බව පාපොච්චාරණයේදී හෙළිවිය. වෝල්ටර්ගේ සිරුරේ පපුවට හා ගෙලට  ඇනගෙන ඇනගෙන ගිය බවත් වෝල්ටර් ඇඳේ පෙරළී බේරෙන්නට උත්සාහ කරද්දී ඇඳේ මෙට්ටයද සිදුරුවී ගිය බවත් ඔහු ප්‍රකාශ කර ඇත.පසුව ඔහුගේ මළ සිරුර තිදෙනාම එක්ව නිවසේ තිබූ ගමන් බෑගයකට දමා තැන තැන විසිරී තිබූ‍ලේ පැල්ලම් ජලයෙන් සෝදා හැරි බවද ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් මළ සිරුර එදින නිවසින් පිටතට ගෙන නැත.

වෝල්ටර්ගේ බෑනා එදින එම නිවසේ රාත්‍රිය ගතකර තිබෙන අතර පසුව ඉකුත් 24 සහ 25 යන දින දෙකේම සිය සේවා ස්ථානයටද වාර්තා කර ඇත. මළ සිරුර නිවසේ ගමන් බෑගයේ දින 2 ක්ම තිබියදී වෝල්ටර්ගේ බිරිඳත්, දියණියත් කිසිවක් නොවුණා සේ නිවසට වී සිටි නමුත් දුගඳ හමන්නට වූයෙන් 25 දා රාත්‍රී කාලයේදී වෝල්ටර්ගේ බෑනා නිවස පිටුපස වළක් කපා මළ සිරුර සරමකින් ඔතා වළ දැමූ බව කියැවේ.

පසුව ගෙදර සුරතලයට ඇති කරන බල්ලාගේ කූඩුව එයට උඩින් සවිකර ඇත්තේ සැකයක් ඇති නොවන්නටය.මළ සිරුර නිවස පිටුපස වළ දමා තිබියදී වෝල්ටර්ගේ බිරිඳ සහ දියණිය සිය ඥාතියකුගේ මංගල උත්සවයකටද සහභාගි වී ඇති අතර වෝල්ටර් විමසීමේදී ඔවුනට දන්වා ඇත්තේ වෝල්ටර් මළ ගෙදරක ගියා යනුවෙනි.
මෙම ඝාතන සිද්ධියෙන් අනතුරුව ඝාතනයට යොදාගත් පිහිය ප්‍රගාෂ් විසින් මෝදරපාලමෙන් කැලණි ගඟට දමා ඇති බව ‍පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය. ඔහු සිය බිරිඳ සමඟ ඉන්දියාවට පලා යාමට සැලසුම් කර තිබී ඇති බවද වාර්තා විය.

වෝල්ටර්ගේ බිරිය දියණිය හා බෑනා අත්අඩංගුවේ පසුවන අතර
ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට නියමිතය.