උන්මත්තක ලාංකික ගුවන් මගියාගේ සිද්ධිය
ලොව ප්‍රධාන පුවතක් බවට පත්වෙයි
- අගොස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඊයේ රාත්‍රී ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා ගමන් කළ MH 128 යානයේ ශ්‍රී ලාංකික මගියෙකු බොම්බයක් ඇතැයි කියා කළ ‘විකාරය‘ මේ වනවිට ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාලාවල මුල් පුවත බවට පත්ව තිබෙන අතර එමගින් ලංකාවේ නමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ වාසය කරන බහුතරයක්වූ ලාංකික ප්‍රජාවට ඉමහත් අපකීර්තියක් අත්කරදී ඇත.
වාර්තාවන ආකාරයට මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Dandenong හි ශිෂ්‍ය වීසා මත වාසය කරමින් සිටින මනෝද් එම්. මාර්ක්ස් නමැති
ශ්‍රී ලාංකිකයෙකි. ඔහුගේ වයස 25 ක් බවද පොලිසිය හෙළි කර තිබුණි.
ඔහු බීමතින් මේ දේවල් කර ඇතැයි මුලදී නිරීක්ෂණය කර තිබුණත් ඔහුට සත්‍ය ලෙසම මානසික ආබාධයක් පවතින බව පොලිසිය තහවුරු කරගෙන තිබේ. Monash Medical Centre රෝහල වෙතින් අවසන් වරට ඔහු සිය මානසික ආබාධය සඳහා

ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත්තේ සිද්ධියට පෙර දිනයි.

ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව හරහා යළි කොළඹට එන්නට ඔහු ප්‍රවේශ පත් මිලට ගෙන තිබී ඇත.

ඔහු ගැන අධ්‍යයනය කර වාර්තා පළ කරන හෙරල්ඩ් සන් පුවත්පත දක්වා සිටින්නේ ඔහුගේ ෆේස් බුක් ගිණුමට අනුව උපන් ස්ථානය කොළඹ බවත් ඔහු බෞද්ධ ආගමික අදහස් ෂෙයාර් කර ඇති බවත්ය.  ඇමරිකානු රැප් ගායක Tupac Shakur ගේ රසිකයෙකු ලෙසද ඔහු හඳුනාගන්නට ලැබෙන බවත් එහි සටහන් කර ඇත.

අද (1) දහවල් පළවූ වාර්තා අනුව වික්ටෝරියානු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඔහු ලබන අගොස්තු 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයින් ඇප අයදුම් කර නැත.ඔහුගේ මානසික තත්වය පිළිබඳ වාර්තා පමණක් යොමු කර ඇත.

ගුවන් යානය පිටත්වී මිනිත්තු තිහකින් පමණ බැටරි දැමූ උපකරණයක් තමා අසළ සිටි මගීන්ට පෙන්වමින්  “I’ve got a bomb and I’m going to f***ing blow the plane up” යයි කෑගසා තිබුණ ඔහු මගීන් බොරුවට බය කර තිබුණ අතර  තමාට ගුවන් නියමු කුටියට යන්නට අවශ්‍ය බව පවසමින් තර්ජනය කර තිබුණි.
එම අවස්ථාවේ
කාර්ය මණ්ඩලය ඔහු වළක්වා මෙල්ල කළ පසුව ඔහු බිම ඇද වැටී සිටියේය.
යානාව නැවත හරවා යාමෙන් පසු ආරක්ෂක අංශ ඔහු ඔවුන් භාරයට ගත්තේ කිසිදු කරදරයකින් තොරවයි.
බෝම්බ කතාව ඔහුගේ මනෝ විකාරයක් බවද හෙළි විය.

මගීන් අපහසුතාවයට පත් කිරීම, අනියත බියට පත් කිරීම හා ගමන අවලංගු කිරීමට බලපෑම් කිරීම යන චෝදනා යටතේ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් නීතියට අනුව ඔහුට වසර 10 දඬුවමක් ලබාදිය හැකි බවට වාර්තා පළව තිබේ.

මෙම ගුවන් යානයේ ඕස්ට්‍රේලියානු හිටපු පාපන්දු තරුවක් හා ඔහුගේ පෙම්වතියද ගමන් කළ අතර ඔවුන් ලබාදුන් ප්‍රකාශද පදනම් කර වාර්තා පළවූ නිසා මේ සිද්ධිය තවත් ප්‍රසිද්ධියට පත්ව ඇත.
සිද්ධිය අද ජුනි 1 වනදා ලෝකයේ සියලුම ප්‍රධාන පෙළේ මධ්‍ය වල මුල් පුවත බවට පත්වූ අතර ‘මනෝද් නමැති උන්මත්තක ශ්‍රී ලාංකිකයෙකු කළ විකාර වැඩක්‘ යනුවෙන් එ් බොහොමයක් වාර්තා අර්ථ ගන්වා තිබුණි.