කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනකු සැකපිට කුරුණෑගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ඉකුත් මැයි 21 වැනි දින
අලුයම් කාලයේ සිදුවූ මෙම සිද්ධියට තවත් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පසුගිය මස 21 වැනි දින කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේදී ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඇතිවූ සිද්ධියෙන් පසුව මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම ප්‍රහාරවලට සම්බන්ධව සීසීටීවී දර්ශන පොලිස් විමර්ශකයන් වෙත ලැබී ඇති අතර එම දර්ශන පරිශීලනය කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බවත් ප්‍රහාරයට පැමිණීමට භාවිත කරන ලද යතුරුපැදි 02ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මූලස්ථානය නිවේදනය කරයි.
සැකකරුවන් ජුනි 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත්තුමා නියෝග කර ඇත.