පසුගියදා මෝටර් සයිකල් අනතුරකින් ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වුනේ ඔහු සමග කරට කර තරඟ කළ ඔහුගේ හිතවත් සුරාජ්
පෙරේරාගේ මෝටර් සයිකලයේ පැටලීමෙන් පසුය.
ඔහු ගුවන් විදුලි නාලිකාවක් අමතා එම අවස්ථාව විස්තර කර තිබෙන්නේ මෙසේය.
‘එදා උදේ කාසිය වාසිය බලද්දි ආනන්ද අයියාට ලැබුණේ දෙවැනි ධාවන පථය. මම හත.
අපි දෙන්නා වට තුන හතරක් දෙවැනි ධාවන පථයේ තරග කළා. අන්තිම වෙලාවෙදි අපි දෙන්නම
වේගවත් වුණා.150ක වේගයෙන්. බයික් එකේ කොණ එක පාරක් වදිනකොට මම වේගය අඩු කරගන්න ගියත්
කවුරුත්ම දන්නේ නැහැ. මමත් ඒ මොහොතේ නැගිටලා තරගයට යළිත් අවතීර්ණ වෙන්න උත්සහා කළා. නමුත්
මට දැනුණා මටත් නැගිට ගන්න බැහැ බයික් එක අල්ලන්නවත් බැහැ කියලා. ඒත් මම බයික් එක කෙලින්
කරගෙන පැඩොක් එක ළඟට ගියා. ඒ ගමන්ම මාව එතැනින් ඉවත් කරලා ගිලන් රථයට දාගෙන පස්සේ
ආනන්ද අයියා ඉන්න තැනින් අයියාවත් දාගත්තා. ආනන්ද අයියා ඒ මොහොතේ වේදනාවෙන් කෑ ගැහුවා
මගේ කකුල කියලා.
මම ආනන්ද අයියාව දන්නේ අවුරුදු 10ක ඉදලා. කවුරුත් දිනන මානසිකත්වයෙන් යන්නේ. එහෙම
නැතුව තරගකරුවන්ව අනතුරට ලක් කරලා දිනන මානසිකත්වයෙන් නෙමෙයි. මම එදා අනතුරට ලක් වෙලා මැරුණා නම් අද උත්තර දෙන්න වෙන්නේ ආනන්ද
අයියාට. අද අයියා නැහැ. මට හැමෝටම උත්තර දෙන්න සිදු වෙලා. මේක අත්වැරදීමක්.
මම අවසන් ගෞරව දක්වන්න ගියේ නෑ. මම ඔහුගේ අයියාට කතා කළා. ඔහු කිව්වා තියෙන වාතාවරණය එක්ක එන්න
එපා කියලා. මමත් ඉන්නේ කම්පනයෙන්. මගේ හිතවතාට අවසන් ගෞරව කරන්නවත් මට බැරි වුණා.‘