ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය තම ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
මෑතකදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැක ගන්නට ලැබෙමින් පවතින බව ට්විටර්
පණිවුඩයක් යොමු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමා කිරීමේ ආරම්භය” වනු ඇති බව ය.
ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහය ලබා දෙන බවට
චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය,
සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා අත්හිටුවනු ලැබීය.
අසල්වැසි රටවල තීන්දුවත් සමග ගුවන් සේවා සමාගම් ගණනාවක් කටාරයේ දෝහා අගනුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටවූවේය.
අරාබි රටවල තීන්දුවෙන් අනතුරුව කටාරය සමග සම්බන්ධතා අත්හිටුවීමට මාලදිවයින ද පියවර ගත්තේය.
විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රජයේ එම තීරණය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවය.
විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සවුදි සංචාරයෙන් සති දෙකකට පසුව අරාබි රටවල් ගත් තීන්දුව ඉතා වැදගත් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව කටාරය පවසන අතර, ඊට මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට කුවේටය ඉදිරිපත්ව සිටියි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කුවේටයේ එමීර්වරයා සවුදි අරාබිය වෙත සංචාරය කළ බවය.