තමන් විසින් ලේ කිරි කර දහදිය කඳුළු හෙළා ඇති දැඩි කළ එකම පුතු කල වයස සම්පූර්ණ වූ විට විවාහ වී වයෝවෘද්ධ මව සහ පියා නිවෙසින් එළවා දැමූ හද කකියවන ශෝකජනක පුවතක් පලාගල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
මෙම අසරණ වූ මවුපිය යුවළ ඉන්න හිටින්නට තැනක් නොමැතිව පලාගල හන්දියේ ඇති බස් මගී ආවරණයක කුසට අහරක්වත් නොමැතිව අසරණව සිටියදී හමුවී තිබේ. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඳිවත්ත ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිට ඇත. මෙම මවුපියන්ගේ එකම පුතුට විවාහයක් කරදීමෙන් පසු ඔවුන්ගේ නිවෙසට පැමිණි ලේලිය මවුපියන් දෙපළ නිවෙසින් එළවා දමා ඇත. ඔවුන්ට යන්නට තැනක් නොමැති නිසා ඔවුන් මහමඟට වැටී ඇත. කාට හෝ අත පා කීයක් හෝ සිඟමන් යදින ඔවුහු රාත්‍රි කාලයට බස් මගී ආවරණයට වී නිදා ගනිති.
ආර්.එම්.කේ. රංබණ්ඩා සිය දුක්බර කතාව මෙසේ පැහැදිලි කළේය.
එහෙම හිටියේ ටික දවසයි. මම ගෙදර නැති වෙලාවක බිරියට ගහලා කාමරයෙන් එළියට දාලා. ඊට පස්සේ අපි ගෙදරින් පිටවෙලා කොහේ හරි යන්න තීරණය කෙරුවා.
දැන් මේ වයෝවෘද්ධ මවුපිය යුවළ පලාගල සහ ඒ අවට පිහිටි බස් මගී ආවරණවල නවාතැන් ගෙන සිටිති. කාට හෝ අත පා ලැබෙන දේකින් ජීවත් වේ. බොහෝ දිනවල දවසේ වේල් තුනම බඩගින්නේ සිටින බව පියා පැවැසුවේ හැඬු කඳුළිනි. පියාට හරිහැටි ඇවිද ගැනීමටවත් අසීරු නිසා කිහිලිකරු ආධාරයෙන් ගමන් කරයි.
අපිට දැන් ඉන්න තැනක් නැහැ. අපි පදිංචිවෙලා හිටපු ඉඩමේ පැත්තක පුංචි ගෙයක් හදාගන්න කවුරු හරි උදවු කරනවා නම් ලොකු පිනක්. එතකොට දරුවට කරදරයක් නොකර අපිට තනියම ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ අනාථ මඩමකට හරි අපි ගෙනිහින් දානව නම් පින් සිද්ධ වෙනවා. අසරණ මවුපියෝ ඉල්ලා සිටිති.
තම සිරුරේ රුධිරය කිරි කර පොවා දෑත දෙපය නොකඩා හදා වඩා රටක් වටිනා පුතෙක් හැදූ මවට අද ඒ පුතු පිටුපා ඇත්තේ ඇයට මහමඟ පමණක් උරුම කර දෙමිනි. ගොවිතැන් බත් කරමින් ගතේ රුධිරය දහදිය කඳුළු හෙළා පුතෙක් හැදූ පියාටද ඒ පුතුගෙන් සැලකුම් ලබන්නට තරම් පින් මදිවන්නට ඇත. එබැවින් ඔවුන් දෙදෙනාට අද මහමඟ උරුම වී තිබේ.
ගල්ගමුව - ජයසේන බණ්ඩාර
මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්