පසුගිය ඡන්දයට මම ගියේ ආසන හතරක විතරයි. ඉතුරු ආසන හතරට යන්න මට සල්ලි තිබුණෙ නැහැ. තාත්ත ගේ උකස් කරල සල්ලි අරගෙන ඉතිරි ආසන හතරත් දුවන්න කියල කිව්වා. මම ඒක කළේ නැහැ. කළා නම් අපි ලොකු අමාරුවක වැටෙනවා' යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා කීවේය.



ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් පසුගිය 17දා හොරණදී විදුර වික්‍රමනායක මහතා මෙසේද කීවේය.
හැම ඡන්දයටම ගේ උකස් කරනවා. එක සැරයක් තාත්තා බේරගත්තා. තව සැරයක් මම බේරාගත්තා. ඒ නිසා මේ පවතින මැතිවරණ ක්‍රමය තුළ හොඳ මනුස්සයකුට පාර්ලිමේන්තු යන්න බැහැ. මේ දේශපාලනය දූෂිත වෙලා තියෙන්නෙත් මේ මැතිවරණ ක්‍රමය නිසාමයි.

මේ මැතිවරණය ක්‍රමය වෙනස් කළ යුතුමයි. කොට්ඨාස ක්‍රමයට ගෙන එමින් තමුන්ගෙ කොට්ඨාසයට හොඳ මනුස්සයකු පත් කරගන්න අවස්ථාවක් දිය යුතුයි. අපේ තාත්තලාගේ කාලයේ ඒ කියන්නේ 1977 වන තුරු තිබුණෙ මේ ක්‍රමය තමයි. එතකොට ඔහු දූෂිතයකු, වංචනිකයකු, හොරකු නම් ඔහුට සමාවක් නැහැ.
අද ඒ තත්ත්වය වෙනස් වෙලා. මට හොරණ ඡන්ද නැතිනම් මතුගමට ඇවිල්ල ඡන්ද ගන්නවා. ආසන සංවිධායකවරුන්ට ඡන්ද අඩුයි.

ඒ අඩුව පුරවා ගත්තෙ වෙන වෙන ප්‍රදේශවලට ගිහිල්ලයි.

බෝධිසත්ත්වයන් වගේ ඉන්න උදවිය හොරණ ඇවිත් කසිප්පුකාරයන් සමඟ ඩීල් දානවා. මට මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සෙ උන්ව පොලිසියට අල්ලගෙන ගියාම ඒ ඇමැති කතා කරලා එළියට ගන්නවා. අපේ පැතිවල කාර්යාලයක් ඇරියම සතියකට බෝතල් ගාණක් දෙනවා. මුදල් දෙනවා. කටවුට් එක ගැහුවම මුදල් දෙනවා. එක පැත්තකින් ඡන්ද දායකයා වංචනිකයකු කරනවා. ඒ වගේම මුදල්වලට වහලකු කරනවා. අනෙක් පැත්තෙන් ඔහුව නොමරා මරනවා. රටේ නොවිසඳුණු ප්‍රශ්න රැසකට මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළා නම් විසඳුම් ලැබෙනවා. මට හොරණ බලාගන්න කිව්වම පිට අයට ඇඟිලි ගහන්න එන්න බැරි වෙනවා.
රුපියල් කෝටි ගණන් වියදම් කරන පාර්ලිමේන්තුවෙන් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවද? රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුවෙ කතා කරලා විසඳනවා නම් ඩෙංගු මදුරුවාගේ ප්‍රශ්න මේ විදියට ව්‍යාප්ත වෙන්නෙ නැහැ.

මේ අවුරුද්දෙ මාස 7ක් ගත වෙලත් පළමු වසරට ඇතුළත් නොවූ දරුවො කී දෙනෙක් ඉන්නවාද? පාසලක් නැති ළමයි කීදෙනකු ඉන්නවාද? උද්ධමනය අඩුවෙලා, විරැකියාව රුපියල් 15,000 ඉහළ පඩියක් අතට ගන්න කී දෙනාද ඉන්නෙ. ආණ්ඩුව මේ කිසි ප්‍රශ්නයක් දන්නෙත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ.
රැකියා ලක්ෂ 10ක් දෙනව කිව්වම මිනිස්සු ඇත්තටම හිතුව එක ලැබෙයි කියලා. ආණ්ඩුවෙ රැකියාවක් ගන්න අපේ රටේ මිනිස්සු කී දෙනකු බලාගෙන හිටියද? රජයේ සේවකයන්ගෙ සියලු ණය කපනවා කිව්වා.

වැඩිහිටි දීමනාව කපන ගමන් දෙන මුදලිනුත් රුපියල් 100ක් අඩු කරනවා. වැඩිහිටි කාර්යාල හැදීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ වැඩි කළ වැටුප ගන්න. නැත්නම් සුඛෝපභෝගී වාහනවලට වෙන් කළ මුදල ගන්න.

මතුගම - වසන්ත කුමාර