ඊයේ (24දා) උදෑසන 7ට පමණ ලුණුගම්වෙහෙර වන උද්‍යානයට අයත් ප්‍රදේශයේදී නිධානයක් ගැනීම පිණිස වන උද්‍යානයට ඇතුළු වූ කැබ් රථයකට වනජීවී නිලධාරීන් වෙඩි තබා නතර කර ඇත.

වනජීවී නිලධාරීන් පිරිසක් වන උද්‍යානයේ දී දඩයම්කරුවකු තුවක්කුවක් සමඟ ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන එන අතරතුර මේ සැකකටයුතු කැබ් රථය වනයේදී හමුවී ඇත.

පසුව මේ රථය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී රථය පලාගොස් තිබේ. පලා යමින් තිබූ කැබ් රථය පසුපස කිලෝමීටර් 08ක දුරක් ලුහුබැඳ ගිය වනජීවී නිලධාරීන් කැබ් රථයේ ඉදිරි දකුණු පැත්තේ රෝදයකට වෙඩි තබා නවතා ගැනීමට සමත් විය.
මෙහිදී සැකකරුවන් දෙදෙනකු පලාගිය අතර සෙල්ල කතරගම කරවිලේ වනජීවී බීට්ටු කාර්යාලයේ සේවය කළ කනිෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවිය.

මේ අල්ලා ගත් රථය වනජීවී නිලධාරියකුට අයත් සහෝදරයකුගේ බව අනාවරණය වූ බව වනජීවී නිලධාරීහු පවසති.
ලුණුගම්වෙහෙර වන උද්‍යානයේ පිහිටි අක්කර 50 නමින් හඳුන්වනු ලබන ගලක ඇති බව කියන නිධානයක් ගැනීමට මේ පිරිස යමින් සිටි බව හඳුනාගෙන ඇත. මේ පිරිස අතර මාතර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරයකු ද වන අතර අනිත් පුද්ගලයා තිස්සමහාරාම නැදිගම්විල ප්‍රදේශයේ අයෙකි.

මේ කැබ් රථයේ තිබූ විදුලිජනක යන්ත්‍රයක්, ගල්විදීමට ගන්නා යන්ත්‍රයක්, පූජා ද්‍රව්‍ය, වියළි ආහාර ද්‍රව්‍ය සමඟ කොටි දතක් සොයාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවිය.
මේ කැබ් රථය සමඟ කරවිලේ බීට්ටු කාර්යාලයේ සේවය කළ කනිෂ්ඨ සේවකයා අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ වැටලීම සිදුකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර අඩවි සහකාර සංජය, වනසත්ත්ව නියාමක අසේල, ක්ෂේත්‍ර සහායක සුසන්ත, වන සත්ත්ව නියාමක අසන් හෙට්ටිආරච්චි, අඩවි ආරක්ෂක ජනක හා වන සත්ත්ව නියාමක චමින්ද යන නිලධාරීන් විසින්ය.

කතරගම _ ඩී.එන්. කලුආරච්චි, හම්බන්තොට _ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි