ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් බිලි බා ගැනීම සඳහා කෝටි ගණන් මුදල් සහ ඉහළ පෙළේ කැබිනට් ඇමැතිකම් ප්‍රදානය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රිවරුන් බිලි බා
ගැනීමට ආණ්ඩුවට කෝටි ගණන් මුදල් කොහෙන්දැයි ප්‍රශ්න කළ රණතුංග මහතා මෙසේ ක්‍රියාවට නැංවෙන මෙහෙයුම පසුපස කරකැවෙන්නේ බැඳුම්කර මගඩියෙන් උපයා ගත් මුදල් දැයි සාධාරණ සැකයක් මතු වන බවත් පැවැසීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ අධ්‍යාපන වෘත්තියවේදීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළදී පැවැත්වූ හමුවක් අමතමිනි.
මන්ත්‍රිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

හවුල් ආණ්ඩුව දැන් හොඳටම අවුල්. පක්ෂ දෙකේ අය පමණක් නෙවෙයි එකම පක්ෂයේ අයත් මරාගන්න තැනට දැන් ආණ්ඩුව පත්වෙලා ඉවරයි. මේ ආණ්ඩුවේ අවසන් මාස දෙක තුන තමයි මේ ගතවෙමින් තියෙන්නේ. අවුරුදු දෙකක් පිරෙන්නත් ඉස්සර ජනතා අප්‍රසාදයට පත්වෙච්ච වෙනත් ආණ්ඩුවක් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේවත් නැතිව ඇති.
ආණ්ඩුව එපා වෙලා ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ඇමැතිවරුන් අපේ පැත්තට එන්න හදනකොට ආණ්ඩුව පුරුදු තැටියම දානවා ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් අච්චරක් එන්න ලෑස්තියි කියලා.
රටේ අහිංසක ජනතාවගේ සල්ලි හූරං කාපු බැඳුම්කර සල්ලි අරන් ආණ්ඩුවට යනවට වඩා හොඳයි බඩ කපාගන්න එක කියලයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විදියට අපි විශ්වාස කරන්නේ. අපි බලන් ඉන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් හදලා බැඳුම්කර මගඩියේ හවුල්කාරයන් එල්ලුම් ගස් යවන්න මිසක් ඒ සල්ලි අරන් ආණ්ඩුවට යන්න නොවෙයි.
රටේම ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙලා ඉන්න ආණ්ඩුව දැන්
අවුරුදු දෙකක් තිස්සේ ඡන්ද කල්දාමින් යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සර අපි හොඳින් හෝ නරකින් ඡන්දයක් ගන්න බව ආණ්ඩුවට අපි මතක් කරනවා.

අද ආණ්ඩුවම ආණ්ඩුවේ ඇමැතිවරුන්ට ගහනවා. මම දැක්කා විජයදාස රාජපක්ෂ මහත්තයාට මුළු එක්සත් ජාතික පක්ෂයම එකතුවෙලා බනින හැටි. ආණ්ඩුවේ අර්බුදය දැන් ඒ තරම් උග්‍ර වෙලා ඉවරයි. අද විජයදාසට වෙන දේ හෙට තමන්ටත් වෙනවා කියලා ආණ්ඩුවේ ඉන්න අනෙක් ඇමැතිවරුනුත් තේරුම් ගත්තොත් ඇඟට ගුණයි.
හැබැයි හොඳකට තියෙන්නේ මේ කිසිම දෙයක් ජනාධිපතිවරයා දන්නේ නැති එකයි. එතුමා ඉතින් රට වටේ ඇවිද ඇවිද බොහොම සන්සුන්ව කාලය ගෙවනවා. මොකද ජනාධිපතිවරයා වුණත් දන්නවා වැඩිය දඟලන්න ගියොත් රනිල් උන්නැහේ ඊළඟට ගහන්නේ තමන්ට කියලා.

ශ්‍රී ලනිපය අපේ පාක්ෂිකයන්ට අද පක්ෂයේ සභාපති ගැන විශ්වාසයක් නැහැ. ඒ හින්දා පාක්ෂිකයෝ විශාල වශයෙන් පක්ෂය අතහැරලා යනවා. වැඩිකල් යන්න ඉස්සර සභාපති සහ ලේකම් විතරක් පක්ෂයේ ඉතුරුවන දවසක් එන බව අපිට දැන් පේනවා.
මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සර අපි ඒ අරමුණ ජයග්‍රහණය කරනවා. එදාට අපි ඔය කටු ලෙවකාපු අය ගැනත් ඉතිහාසගත වෙන තීන්දුවක් ගන්න ලැහැස්තියි කියන එකත් මම මතක් කරනවා.