තිලංග සුමතිපාල මහතා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංගට
එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ නිශ්ප්‍රභා කෙරිණ.

තිලංග සුමතිපාල, අර්ජුන රණතුංගට එරෙහිව මෙම අපහාස නඩුව ගොනු කළේ 2005 වසරේ මාර්තු මස 03 වැනිදාය. ඒ 2003 වසරේ මැයි මස 21 වැනි දින සිය නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්

කැඳවා අර්ජුන රණතුංග මහතා තමන්ට අපහාස කළ බවට චෝදනා නඟමිනි.

තිංලග සුමතිපාල දූෂිත චංචා පුද්ගලයකු බවත්, එවැනි දූෂිත වංචා සහගත පුද්ගලයකු සමඟ මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමන් එක් නොවන බවත්, තිලංග සුමතිපාලට විරුද්ධව වංචා සහගත දූෂණ චෝදනා තිබෙන බවත්, ඒවායින් සමහරක් ඔප්පු වී ඇති බවත්, තව චෝදනා යට ගසා තිබෙන බවත්, තිලංග  සුමතිපාලට විධායක බලතල තිබෙන්නේ චීන අවන්හලක බවත්, ටෙලිකොම් සභාපතිකමට තිලංග සුමතිපාල සුදුසු පුද්ගලයකු නොවන බවත් යනාදි අපහාස කියමන් සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් අර්ජුන රණතුංගගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල ස්වකීය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
නඩුවේදී අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටියේ තිලංග සුමතිපාල බුකී ව්‍යාපාරයට සම්බන්ධ අයකු බවත් පෝය දිනකදී පවා අධිකරණයෙන් ඇප ලබා ගත් පුද්ගලයකු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඉදිරියේදී සූදු ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරයට සම්බන්ධ අයකු ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය පරීක්ෂණ මෙහෙයවා ඇති බවත්, එබැනින් එබඳු දූෂිත පුද්ගලයකුට ඇමතිවරයා විසින් ප්‍රකාශ කළා යන ප්‍රකාශවලින් අපහාසයක් සිදු නොවී ඇතිය යන කරුණු වේ.