ගල්කිස්ස හවුස් චන්ද්‍රා හෝටලේ අභිරහස් මරණය
චමින්ද මං මැරෙන්න ළඟයි
කිය කියා හිටියේ
-අලුත විවාහ පත් බිරිය කියයි
පසුගියදා ගල්කිස්සේ හවුස් චන්ද්‍රා හෝටල් කාමරයකදී අභිරහස් ලෙස මියගිය ඇඟලුම් ව්‍යාපාරික චමින්ද විජයතිලක මහතාගේ මරණය සම්බන්ධයෙන් මියගිය අයගේ අලුත විවාපත් බිරිය වන ඉරාකි නමැත්තිය පුවත්පතකට සැපයූ තොරතුරු සිද්ධිය තුළ අද්භූත ලක්ෂණ රැසක් මතුකර දී තිබෙයි.
දැනට චීන තානාපති ලෙස කටයුතු කරන හිටපු ඇමති කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ සොයුරෙකුගේ දියණිය වන ඉරාකි මෙම සිද්ධියට මුහුණ පා ඇත. ඇය පවසන ආකාරයට මෙම මරණය සිදුව ඇත්තේ ඔවුනගේ මධු සමයෙනුත් පසුවය. මේ කියන හෝටලයට චමින්ද නිතර යනඑන බවත්
ඔහු එහි ගොස් මත්පැන් පානයට හුරුවී සිටි අයෙකු බවත් ඇය කියා ඇත. විවාහවූ දින රාත්‍රියේ සිට තමාගේ ජීවිතය කෙටි විය හැකි බවට ඔහු අද්භූත කතා පැවසූ බවද ඇය කියයි.
යුද හමුදා වෛද්‍යවරයකු සමග තමාගේ මුල් ප්‍රේමය බිඳ වැටුණ බවත් ඉන් පසු ඇතිවුණ කලකිරීම් නිසා ප්‍රේමය හෝ විවාහය අමතක කර සත්ව අවිහිංසාව වෙනුවෙන් ජීවිතය කැපකර සිටි සමයක හිතවතෙකු කළ යෝජනාවකට අනුව මෙම මංගල්‍යය සිදුවූ අයුරු ඇය විස්තර කර තිබේ.
” මගෙ හිතේ ඒ තීරණේ කඩලා හිත ළඟින් කෙනෙක් නැවැත්තුවේ අපේ සංවිධානෙට එකතු වෙලා වැඩ කරන නුලින්ද මල්ලි. නුගේගොඩ සරණංකර පාරේ ඒ ගොල්ලන්ගෙ ගෙවල්
කිට්ටුව හිටපු චමින්ද මෝහාන් විජේතිලක ගැන මට කියලා මං ගැන එයාට කියලා නුලින්ද හැදුවෙ
කරුණාවන්තයි කිව්වා. මගේ සත්තුන්ගෙ වැඩවලට වුණත් උදව් කරයි කිව්වා. හරියට හම්බ කරනවා.
වියදම් කරනවා. ජීවිතේ පිළිවෙළක් නෑ . අපි දෙන්නට එකතු වෙලා හොඳ ගමනක් යන්න පුළුවන් කිව්වා.
මගෙ පින්තූර දැක්ක ගමන් හැබැහින් දකින්නත්, ඉස්සර වෙලා එයා මාව බඳින්න කැමැති වෙලාත්
තිබුණා. මං ඒත් කිව්වා පින්තූරෙට ඔහොම කැමැති වෙන්න එපා. අද කාලෙ පින්තූර හදන්න පුළුවන්
කියලා. අපි එක දවසක් පුංචි වෙලාවක් මහරගමදී හම්බවෙලා කතා කළා. එයා හරිම ලස්සනයි. ඒ
වගේම කරුණාවන්තයි කියලත් තේරුණා.
ඒත් නුලින්ද කියපු ඉක්මනට මගෙ හිත එයා ළඟ නැවතුණේ නෑ. මගෙ ජීවිතේම වෙලා තිබුණෙ අසරණ සත්තු. මට ඕන වුණේ දවසකට එක ජීවිතයක් හරි බේරන්න විතරයි. පහුගිය මැයි මාසෙ වෙනතුරු එයා එවපු එස්එම්එස්වලට උත්තර යැව්වෙවත් එයා කෝල් කළාට කතා කරන්න උනන්දු වුණේවත් නෑ. මැයි මාසෙ තමයි අපි ටෙලිෆෝන් එකෙන් කතා කරන්න ගත්තේ. ඒ කතාකරන්න වුණෙත් මම කතා කරන්නෙ නෑ කියලා එයා අවුලෙන් ඉන්නවා කියලා නුලින්ද කියපු හින්දයි.
එයා කිව්වා ”මේ අවුරුදු හතළිස් එකටම මම කාටවත් ආදරේ කරලා නෑ” කියලා.
එයා මට ආදරේ කරන්නේ අවංකවමයි කියලා මට දැනුණා. ආදරය කරන්න හිත හදාගන්න මං ටික කාලයක් ඉල්ලගත්තා. ඊට පස්සෙ මම කාලයක් වෙන්කළා එයා එක්ක කතා කරන්න. පිරිමි ගොඩක් වෙලාවට ආදරේ හිත ඇතුළෙ තියාගෙන ඉන්නවනෙ.. ඒත් එයා හිතට ආව ආදරේ පෙන්නුවා.
චමින්ද අයියා මගෙ හිත වෙනස් කළා. ලෝබ හිතෙන තරමට මං එයාට ආදරේ වුණා. ඒ නිසාම මං එයා කවුද කියලාවත් එයාගෙ ජීවිතේ පසුබිමවත් හොයන්න ගියේ නෑ.
ඇත්තටම ගෙවුණු අවුරුදු හතළිස් එකේ එයා කොහොම හිටියද කියලවත් මං දන්නෙ නෑ. එයා කොයිතරම් හොඳද කියලා කියනවා නම් හැම වෙලේම මට හිතුණේ බුදුහාමුදුරුවෝ වගේ කියලා. මගේ යාළුවන්ට වුණත් මං කිව්වෙ අයියා බුදුහාමුදුරුවෝ වගේ කියලා. මට හිතුණා කොතැනකහරි වැරැද්දක් තිබිලා ඒ වගේ හොඳ කෙනෙක් අත්හරින්න වුණොත් මට එයාගෙ ආදරේ නැතිවෙයි කියලා.
ඔය හින්දම මං මගේ සම්බන්ධෙ ගැන ලොකු තාත්තට, මාමට, ලොකු අම්මට කියන්න ගියෙ නෑ. ඉක්මනට කසාද බඳින්න ඕන කියලා චමින්ද අයියගේ අක්කලා නැකැත් බලාගෙන ආවමවත් එයාලට නොකිව්වේ වැඩිදුර දේවල් හොයලා මට චමින්ද අයියව නැති කරයි කියලා. නැකත් බලපුවම හුඟක් ළඟ දිනයක් දීලා තිබුණේ. දවස් එකොළහයි හැමදේටම ලෑස්ති වෙන්න තිබ්බෙ. මං මේක ළඟ වැඩියි කියලා මාසයක් දෙකක් එහා කරගන්න බලමු කිව්වා. ඒකට එයා කිව්වෙ” අපි තව පොඞ්ඩ කාලයයිනේ ඉන්නෙ” ආයෙ දින වෙනස් කරන්න ඕන නෑනෙ කියලා.
ඒ කෙටි කාලයට හදිස්සියේ වුණත් ඉරාකි සහ චමින්ද පුංචි සුන්දර මංගල්ලයක් සැලසුම් කළහ. ඔවුන්ගේ විවාහයට අත්සන් කළේ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සහ ඔටාරා ගුණවර්ධන මහත්මියයි. චමින්ද ඉරාකි සමග විවාහයෙන් පසුව ඉන්නට මහරගමින් කුලී නිවසක්ද ගත්තේය. ඉරාකිගෙ කැමැත්ත තිබුණේ ඔහුත් සමග ඔහුගේ අම්මා – තාත්තා වසන සරණංකර පාරේ මහ ගෙදර නිවසේ වසන්නටයි.
ඒත් ඊට ඔහුම අකැමැති වුණේය. ඔහු කීවේ මුලින් එසේ කියා ගියාට ටික දිනකින් ඇයට එහෙ එපා වේවි කියාය. මහරගම කුලී නිවසට අවශ්‍ය බඩු ලැයිස්තුවක් ලීවද ඒවා නොගත්තේ විවාහයෙන් පසුව මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙනි.
”අපේ වෙඩින් එක තිබ්බෙ අගෝස්තු 18 වැනිදා . ඒ දවස් හරි සංතෝසෙන් ගෙවිලා ගියේ. හොටෙල්ස්
වලයි , නංගිලගෙ ගෙදරයි. ඒත් ඒ කාලෙ සමහර දේවල් තියෙනවා අද විශේෂයි කියලා හිතෙන. මට
රත්තරන් බඩු දාගෙන ?ට නිදාගන්න බෑ.
ඒ නිසා පළවෙනි දවසෙම මම මඟුල් මුද්ද ගැලෙව්වා. එතකොට එයා කිව්වේ ” ඔයාට තව ටික දවසයි
ඕක දාන්න වෙන්නෙ.. ඒ හින්දා ගලවන්නෙ නැතුව දාගෙන ඉන්න” කියලා. එයාම දණගහලා මගේ
ඇඟිල්ලට ආයෙ මුද්ද දැම්මා. මම ඇඳේ අනිත් පැත්ත හැරිලා නිදා ගත්තොත් ඉක්මනටම එයා පැත්තට
හැරෙන්න කියනවා ” තව පොඞ්ඩ කාලයයිනේ අපි ඉන්නෙ‘ කියලා. 28 වැනිදා ? එයා සීතලයි කියලා
ඔලූවෙ ඉඳලා රෙද්දක් පොරවගෙන නිදාගත්තා. එයාගෙ මූණ දකින් නැතුව ඉන්න බෑ කියලා හිතිලා.
පොරවගෙන හිටපු රෙද්ද අහක් කරලා මූණ බැලූවම එක පාරටම මට හිතුණා මෙයා මට නැතිවෙයි කියලා. මම ඒ බයට ඒ වෙලේම නුලින්දගේ වයිෆ්ටත් කතා කරලා මට හිතුණ දේ කිව්ව. එදා ? සැරින් සැරේට ඒ දේ හිතුණා. ඊළඟට 30 වැනිදා මාත් එක්කම ඉඳලා දවල් තෝසෙ කන්න එක්ක ගියා. මාව ගෙදර දාලා ත‍්‍රීවිල් එකේ හොරණ යනවා කිව්වා එයාගෙ බිස්නස් වැඩකට. එයා කළේ රෙදි බිස්නස් එකක්. යාළුවෙක් එක්ක චීනෙන් රෙදි ගෙනත් මෙහෙ දානවා. තව පමුණුවේ රෙදි කඩයකුත් තියෙනවා.
එයා එදා මාව දාලා යනකොට කවදාවත් වගේ නැතුවන් මං එයාව බදාගෙනම කිව්වා ” මාව දාලා යන්න එපා අයියෙ” කියලා. මට ත‍්‍රීවිල් එකේ යන්න බෑ. හවස එනවානේ කියලා කිව්වා. හවස මට කතා කළා: දවල් එයාගෙ කෝල් එකක් මග ඇරුණා කියලා මට හොඳටම දොස් කිව්වා. මට කරදරයක් ද කියලා බය වුණා කියල තමයි දොස් කිව්වේ.
අම්මලාගෙ ගෙදරට ආවෙ. මහන්සියි. එන්න බෑ. ගෙදර ඉන්නම් කිව්වා. ඇඟ හෝදගෙන කතාකරන්නම්
කිව්වට කතා කළේ නෑ. මහන්සියට නින්ද යන්න ඇති කියලා මං හිතුවා. අපි බැන්දට පස්සෙත් එක දවසක් එයා මහගෙදර තනියම ගියා ඔය වගේ. මං එදා ඒකට දොස් කිව්වම එදා නවතින්නේ නැතුව ආවා.
පහුවදා උදේ එයාම ගන්නකල් බලන් ඉඳලා ඉන්න බැරිම තැන උදේ අටට නවයට මං ගත්තා. ෆෝන් එක වැඩ නෑ. මට මීටිමකට යන්න තිබුණා. මම ඒකට ගියා. දවල් 12 ටත් ෆෝන් එක වැඩ නෑ.
එයා ගමන් යන ත‍්‍රීවිල් මල්ලිට ගත්තම කිව්වෙ අද එහෙ ආවෙ නෑ කියලා. මම එයාගෙ අම්මට
කතාකළේ ඊට පස්සෙ. අම්ම කිව්වෙ එහෙ නෑ. අපේ ගෙදර ඉන්නවා කියලා ආවා කියලා. මං ඔළුව ගිනි අරන් එහෙ ආවා. ඒ අතරෙ එකට විතර ත‍්‍රීවිල් මල්ලි එයාව කලින් දවසේ ගිහින් බස්සවපු ගල්කිස්සේ
හවුස්චන්ද්‍රා හෝටලේට ගිහින් කාමරෙ දොරට තට්ටු කළාලූ.
”මට නිදිමතයි. පස්සෙ එන්නම්” කිව්වා කියලා චමින්ද අයියගේ අක්කා කෙනකුට තී‍්‍රවිල් මල්ලී කියලා තිබුණ. ඒ හෝටලේට තමයි චමින්ද අයිය සාමාන්‍යයෙන් යන්නේ. මම පොරොන්දු කරගෙන තිබුණා ආයෙ බීලා අහුවුණොත් කසාදෙ ඉවරයි කියලා. ඉතින් මං හිතුවා බීලා අපේ ගෙදරට එන්නත් බැරුව අම්මලාගෙ ගෙදර එන්නත් බැරුව එහෙ ඇති කියලා. මං බලාගෙන හිටියා හවස 5 වෙනකල්. ඒත් ටෙලිෆෝන් එකත් වැඩ නෑ. ආවෙත් නෑ. මට ඇත්තටම කේන්ති ආව. මම නුලින්දට කතා කරලා කිව්ව මෙලහට බීලා නිදි ඇති. ගිහින් දොර කඩලා හරි ඇදගෙන එන්න කියලා.”
ඉරාකි බලා සිටියේ ඔහු ගොස් චමින්දව ගෙදර එක්කාන එන තුරුය. ඒත් ඒ වෙනුවට තවත් විනාඩි
පහළොවකින් පමණ ඇයට ඔහු කතා කොට කීවේ කලබල නොවී කළුබෝවිල රෝහලට එන ලෙසටයි. ඔවුන් ඇමතුම අවසන් කළ නිසාත් නැවත ගත්තද ඇමැතුමට කතා නොකළ නිසාත් වෙනත් තොරතුරක් දැන ගන්නට විදිහක් නොවුණි. ඈ වහා කළුබෝවිල රෝහලට ගියාය.
” මට දැනුණා එයාට මොනවාහරි කරදරයක් කියලා. මම ගිහිල්ලත් ටික වෙලාවකට පස්සෙ නුලින්දයි
ත‍්‍රීවිල් මල්ලියි එයාව අරන් ආවේ. සුදු රෙද්දක ඔතලා. මූණ ඉදිමිලා කළු පැල්ලම් වගේ ඇවිත්. මං
හිතුවෙ එයාට ඇසිඞ් ගහලා කියලා. එයාව කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුල් කරලා
ප‍්‍රතිකාර කළා. නුලින්දයි ත‍්‍රීවිල් මල්ලියි යනකොටත් කාමරේ දොර වහලා කියනවා. කෙඳිරිගාන
සද්දයක් ඇහුණලූ. මෙයාලා දොරට ගහ ගහ කතා කළාලූ. යතුර හෙළවෙන සද්දයක් ඇහුණලූ. දොර ඇරුණලූ.
මෙයාලා කාමරේට යනකොට එයා ඇඳේ මුණින් අතට වැටිලා ඉඳලා තියෙන්නේ. තුවාය පිටින් හිටපු චමින්ද අයියා ළඟ හිස් පැනඩෝල් කාඞ් 14 ක් තිබුණලූ. එයාගෙ ඔළු කට්ට පුපුරලා, අතේ අඟල් නවයක විතර කැපුම් තුවාලයක්, නියපොතු පාරවල්, බෙල්ල තැලිලා , හක්ක කැඩිලා ,දත් හතරක් මුලින්ම ගැලවිලා ,ඒ දත් ටික එතෙන්ට යාළුවෙක් ගිහින් අරන් ඇවිත් තිබුණා. එයාගෙ තත්ත්වෙ බරපතළයි කියලා දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. 03 වැනිදා මට ඇතුළට ගිහින් කතාකරන්න කිව්වා. එයා ඇස් ඇරියෙම නෑ. කතා කරන ඒවා තේරෙනවා කියලා දැනුණා. මම යනවා කිව්වම එක පාරක් ඇස් ඇරියා. ලොකු සුසුමක් හෙළුවා. ඊටත් පස්සේ සැප්තැම්බර් 05 වෙනිදා උදේ 10.35 ට නැති වුණේ. පරීක්ෂණ පවත්තපු ගල්කිස්ස පොලිසියෙන් කියනවා මේ සියදිවි හානි කරගැනීමක්ලූ. මේතරම් තමන්ට වදදීගෙන සිය දිවි හානිකරගන්න අය ඉන්නවද? අනික මාස 5 ක් 6 ක් දන්න මගේ ස්වාමි පුරුෂයාට ඒ වෙනකොට සියදිවි හානිකරගන්න වුවමනාවක් තිබ්බෙ නෑ. මාව බැන්දට පස්සෙ එයාට ඕන වුණේ බබාල ටිකක් හදා ගෙන හොඳ ගෙයක් දොරක් වාහනයක් අරන් ව්‍යාපාර දියුණු කරගෙන ජීවත්වෙන්න. මට මේ මරණය සැකයි. මේ අභිරහස විසඳලා දෙන්න කියලයි මම ඉල්ලන්නේ. දැනට මිරිහාන පොලිසියෙන් සහ රහස් පොලිසියෙනුත් මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරෙනවා. ”
මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ගල්කිස්ස පොලිසිය කියනුයේ ඔහුගේ ව්‍යාපාර කටයුතු වැටී ණය වීම් ඇති බවට තොරතුරු තිබෙන බවයි. ඔහු සිටි හෝටල් කාමරයෙන් හිස් පැනඩෝල් කාඞ් හමුවී ඇති බවත් ටයි පටියක් ද හමු වූ බව කියයි.
කෙසේ වුවත් මේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයේදී දී ඇත්තේ විවෘත තීන්දුවකි. ඔහුගේ ශරීර කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. රස පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් කිසිවකුටත් මේ මරණය පිළිබඳ තීන්දු තීරණවලට එළඹෙන්නට නොහැකිය. එහෙත්, විඳින්නට සූදානම් වූ ජීවිතය ඔහුට මේ අයුරින් වද විඳ හැරයන්නට වීමත් ඇයට ජීවිත කාලය පුරා විඳවමින් ජීවත්වන්නට සිදු වීමත් අවාසනාවන්ත වූ ඛේදවාචයක්මය.
තොරතුරු - බියංකා නානායක්කාර (රිවිර)