දින 7 දරුවා බල්ලෙකු සපා කා
මියගිය කතාවේ සැඟවුණ පැත්ත හෙවත් 

‘දඩයම් ගමේ කතාව‘

පසුගිය 12 වනදා මින්පෙර අප අසා නැති අමුතුම ළමා මරණයක් දඹුල්ලෙන් වාර්තා වුණා. ඒ දින 7 ක් වයසැති කුඩා දරුවෙකු සුනඛයෙකු විසින් සපා කා මරණයට පත්වූ සිදුවීමකි.
මෙම සිදුවීම සිදුව තිබුනේ ගලෙන්බිඳුණුවැව නාමල්පුර ආසිරිගම නමැති ගම්මානයකිනි. දරුවෙක් බල්ලෙකුගේ ගොදුරක් වනතුරු දෙමාපියන් මොනවා කළාද යන පැනය මේ ගැන ඇසූ අයට මතුවූවකි. සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට ආසිරිගමට ගිය මාධ්‍යවේදීන්ට අමුත්තක් දැනී තිබේ. එම ගමේ සියලුදෙනාම පාහේ ඇඳුම් ලෙස අඳින්නේ වැරහැලිය. පිරිමි වැඩිදෙනෙකු නිරන්තරයෙන් බීමතින් සිටින උදවියයි. සියලුම දෙනාම පාහේ අතිශය දිළිඳු මෙන්ම අතිශය නූගත් ස්වරූපයකින් වාසය කරන අයයි. තැන් තැන් වල බල්ලන් රංචු ගැසී සිටින අතර විවිධ දුර්ගන්ධයන්ද
හැමතැනම පැතිරී තිබේ.
මේ ගම පුරාම අමුතුම කාලකණ්ණි ස්වරූපයක් දක්නට තිබෙන බව එහි ගිය මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙන අතර මෙම මරණය අතිශය කම්පා විය යුතු දෙයක් වුවත්වැඩි දෙනෙකුට එය ගාණක් නැති සිදුවීමක් බවද ඔවුනට පෙනී ගොස් තිබේ.
මේ අමුත්ත කුමක්දැයි ගමේ අයගෙන් ඇසූවත් වැඩි දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැකිවීමට අකමැත්ත පළකරනු පෙනිණි.
දරුවාගේ මව නිරෝෂා කුමාරි (24) පියා වන සම්පත් කුමාරත් (26) දේහය අසල සිටියදී සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිළිඳාගේ මව මෙසේ කියා තිබුණි.

"මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ නැතිවුණේ තුන්වැනි පුතා. දවස් හතක් වෙනවා පුතා හම්බවෙලා. ඒ දවස් හතේම මහත්තයට වැඩකට යන්න බැරිවුණා. එයා කැලේ ගිහින් බඹර කපනවා. මී කඩනවා. දඩයමකුත් කරනවා. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. එදා සවස මහත්තයා ගියා කැලේ යන්ඩ දරුවෝ බඩගින්නේ ඉන්න නිසා.

අපි ජීවත් වෙන්නේ පුංචි කටුමැටි ගැසූ එක කාමරයක. මම පුංචි පුතා කාමරයේ මැද පැදුරේ නිදිකරවලා මොනවා හරි අරන් දරුවෝ දෙන්නට කන්ඩ උයලා දෙන්ඩ කියලා කුස්සියට ගියා. අපේ ගේ ඉස්සරහා ‍දොරක් විතරයි තියෙන්නේ. පිටිපස්ස මැටි ගහලා වහලා තියෙන්නේ.
ලොකු දුවට කිව්වා අපේ අම්මලා ගෙදර ගිහින් රෑට උයන්ඩ හාල් හුණ්ඩු දෙකක් ඉල්ලං එන්ඩ කියලා. තාත්තා කැලේ ගිහින් ආවාම අරගෙන දෙන්නම් කියලා. එතකල් මම ළිප පත්තු කරලා වතුර කලයක් ගේන්ඩ ළිඳට ගියා. ඇවිත් මුට්ටියට වතුර එක දාලා රත්වෙන්ඩ ළිප තියන්ඩ හදනකොට චූටිදුව කිව්වා මල්ලි කෙඳිරිගානවා වගේ කියලා. මම ඒත් එක්කම ගියා ඉස්සරහට. ගිහින් ගේ ඇතුළට යනකොට බල්ලෙක් මගේ පුතාගේ ඔළුව පැත්ත කනවා. මම කෑගහලා බල්ලා එළවලා පුතා උස්සාගෙන මැණිකේ අක්කලාගෙ ගෙදර දිව්වා. මම ඒ බල්ලා කවදාවත් දැකලා නැහැ. ඌ සුදු පාට බූල් තියන බල්ලෙක්."
මේ යුවළ තරමක හෝ අධ්‍යාපනයක් ලබා නොතිබිණි. ඔවුන්  ඉතා අසරණ මිනිසුන් විය. අසල්වැසි නිවෙසක කුඩා බිලිදාගේ මළ සිරුර තබා තිබියදී සිද්ධිය වූ නිවෙසට ගිය විට ඔවුන්ගේ ජීවිතවල සැබෑව දර්ශනය වූයේ එම නිවසෙන් සහ මුළුතැන්ගෙයි දසුන්වලිනි.

ගමේ බොහෝ දෙනකු ඇඳගෙන සිටියේ වැරහැලිය. ඔවුහු නිවෙස ආසන්නයේ රොක් වී සිටියහ. තරුණ හා වැඩිහිටි බහුතරයක් සිටියේ බීමතිනි. බොහෝ බීමතිනි.
නොදියුණුකම, අධ්‍යාපන මට්ටම, ආර්ථික ප්‍රශ්න ආදිය නිසා මේ තත්ත්වයට මේ මිනිසුන් පත්වීදෝ යන්න අපට වැටහුණේ නැත. මේ ගම්මානයට අප ගමන් කළේ කිරි කැටියකු බල්ලකු විසින් ආහාරයට ගෙන මියගිය දුක්බර පුවත සොයා බැලීම සඳහායි. එහෙත් එම සිද්ධිය ගැන ගම්මුන් බොහෝදෙනකු මුණිවත රකින ආකාරයක් අපට පෙනෙන්නට තිබිණි.

නම කීමට අකැමැති, ගමේ මඳක් හෝ අධ්‍යාපනයක් ලබා ඇති, ආගමට දහමට නැඹුරුවක් සහිතව සමාජයට යමක් කරන්නට උත්සාහ දරන කීපදෙනකු අපිට හමුවූහ. මේ පිරිස අපිට නුහුරු කතාවක් කීහ.

‘මේ සිඟිත්තාගේ මරණය එය ඇසූ

හැමෝම කම්පනයට පත් කළා. ඒත් මේ ගම්මානයේ බොහෝ දෙනකුට ඒ දුක ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ මොකද ගමේ වැඩි දෙනකුගේ රැකියාව බවට පත්වෙලා තියෙන්නේ සත්තු මරන එක. මස් විකුණන එක. බඹර කූඩු, මී පැණි කූඩු කඩා දමලා ඒ අයගේ ආහාරයට තියෙන පැණි ටික හූරාගෙන එන එක." ගමේ හැම තැනම දඩයම් බල්ලෝ හුරු කරලා. මේ පැත්තේ එළු පැටියෙක්, හරක් පැටියෙක් අලුතෙන් දාන්ඩ බෑ මේ බලු රැළ කනවා."

දඬුලේනෙක්, තලගොයෙක් බැරිවෙලාවත් ආවොත් බල්ලෝ වට කරලා අල්ලාගෙන කනවා. නැත්නම් උන්ගේ හාම්පුතාලට ගෙහුන් දෙනවා." මේ ගමේ මිනිස්සුන්ට කරන්න වෙන වැඩක් නෑ. ගොවිතැන් කරන්න වතුර නෑ. ඉඩම් නෑ. කුලී වැඩක් නෑ. ඉතින් දරු පැටව් රක්ෂා කරන්ඩ තමයි දඩයමේ යන්නේ. අනෙක තමයි ආසිරිගම කියන ගමේ නම ඇහුව ගමන් හැමෝම දන්නවා දඩයක්කාරයෝ ඉන්න ගමක් කියලා. ඒ නිසා ගමේ අනෙක් අයටත් මේ හැදෙන දරුවන්ටත් හොඳ නෑ. මේවා කියලා දෙන්ඩ බැහැ. මොකද උන් ඉගෙනගෙන නෑ. සත්තු වගේ ඉන්නේ. උදේ ඉඳලා. රෑ වෙනකල් බීලා ඉන්නවා. බොහෝ දෙනකු හරි හමන් ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා නෑ. කිසිම කෙනෙක් මේ මිනිස්සු සුගතියකට ගන්න එන්නෙත් නෑ. පොලිසිය ආවත් තවත් රජයේ නිලධාරීන් ගමට ආවත් එන්නේ ඒ අයගේ පාටියට උපන් දිනය සාදයට මස් ඕඩර් කරන්න. දඩ මස් ගෙනියන්න. දඩ මස් කිලෝවක් ගමෙන් දෙන්නේ රුපියල් 300කට."

"මේ ලෝකේ ඇසූ දුටු මිනිස්සු හදවත් කම්පා කරවන මේ සිද්ධිය අපේ ගමෙන් වාර්තා වෙන්න එක හේතුව තමයි මේ දඩයම. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ මියගිය කිරි කැටියාගේ නාමයෙන් මේ ගමේ සිදුවන දුරාචාර වනසතුන් දඩයම නවතා මේ පිරිසට කුමන හෝ ආදායම් මාර්ගයක් ලැබෙන වැඩපිළිවෙළක් කොරලා ඉස්කෝලේ නොයන දරුවො ටික ඉස්කෝලෙ යවලා යමක් කරලා දෙන්න කියලා. නැත්නම් තවත් මේ වගේ අපරාධ වෙන්න පුළුවන්.“

ගමේ බොහෝ දෙනාගේ මතය වූයේ දඩයම් සඳහා හුරු පුරුදු කළ බල්ලකු විසින් මේ ක්‍රියාව සිදුකරන්නට ඇති බවය. එසේ නොමැතිව කිසිදිනක නිවෙසක ඇති කරන බල්ලකු මේ ආකාරයෙන් මිනිසකු ආහාරයට නොගන්නා බවය.


දඹුල්ල - කේ.කේ. ආරියදාස