අතුරුදන්වී සති දෙකකින්
වැසිකිලි වළකින් හමුවූ කාන්තා මළ සිරුර
වැටිලාද? මරා දාලාද?



කඩුවෙල – කොතලාවල – පට්ටියවත්ත ප්‍රදේශයේ නිවසක වාසය කළ 43 හැවිරිදි අවිවාහක කාන්තාවක මීට සති දෙකකට පමණ ඉහතදී අතුරුදන්ව තිබී ඇයව සොයා නිවැසියන් ඇගේ රුව සහිත දැන්වීම් ප්‍රදේශය පුරා අලවා තිබියදී ඊයේ උදෑසන නිවස ආසන්නයේ වැසිකිලි වළක තිබී ඇගේ නරක්වූ මළ සිරුර හමුවීමේ අභිරහස් පුවතක් වාර්තාවේ.
ලලනි ලේඛානි අමරසිංහ නමැති ඇය පට්ටියවත්ත පිංළිඳ පාරේ ඇගේ දෙමාපියන්
හා සොයුරා සමග වාසය කර තිබේ.

මීට සති දෙකකට ඉහත දිනෙක ඇය උදේ තේ පානය කර අනතුරුව මල් පහන් පුදා නිවසේ දෛනික වැඩ කරමින් සිටියදී උදේ ආහාර වේල ලබාගැනීමට පෙර නිවැසියන් ඇය ගැන සෙවීමේදී නිවසින් අතුරුදන්ව ඇති බව හඳුනාගෙන තිබුණි.
කලබලවූ නිවැසියන් වත්ත පහළ සියලු ස්ථානද ආසන්න පාරවල් වලද ඇයව සොයන ලද අතර කාලයක් තිස්සේ කිසියම් මානසික ආබාධ තත්වයකට ප්‍රතිකාර ලබමින් පසුවීම නිසා ඇය කල්පනාව නැතිව කොහේ හෝ ගියාද කියා සැකයෙන් හැමතැනම සොයා බලා තිබුණි.
නමුත් ඇයව හමුවූයේ නැත. ඥාති නිවෙස් අමතා විමසීමේදී ඇය ඒ කිසිදු තැනකට ඇවිත් තිබුනේද නැත.
අනතුරුව පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇයගේ රුව සහිත දැන්වීම් නිර්මාණය කර ප්‍රදේශය පුරා අලවා තොරතුරු දැනගැනීමට නිවැසියන් කටයුතු කර තිබේ.
ඇය ගැන කිසිදු හෝඩුවාවක් නැතිව තිබියදී පෙරේදා රාත්‍රී අතුරුදන් අයගේ සොයුරා ළිඳේ මෝටරයේ දෝෂයක් නිසා එය පරීක්ෂා කිරීමට ගොස් නැවත වත්ත පහළ සැරිසරද්දී අසාමාන්‍ය දුර්ගන්ධයක් දැනී පරීක්ෂා කර තිබේ. එම දුර්ගන්ධය හමන්නේ නිවසේ වැසිකිලි වළකින් බව දැනගත් පසු ඒ ආසන්න ස්ථානය විදුලි පන්දම් එළි මගින් පරීක්ෂා කිරීමේදී අතුරුදන් තැනැත්තියගේ මළ සිරුර හමුවී තිබේ.

ඇයගේ සිරුර එතැන තිබෙනු මින් ඉහත සිදු කළ පරීක්ෂාවන්හිදී නොදුටු බව නිවැසියන් පවසා ඇති අතර ඇය මෙම අන්තරායට පත්වූයේ තමන්ගේ මානසික ආබාධ තත්වය නිසා නොසැලකිල්ලෙන් ගමන් කිරීමෙන්ද නැතහොත් කිසියම් බාහිර මැදිහත්වීමකින් ඇයව අතුරුදන්කර මරා මෙම ස්ථානයට ගෙනවිත් ඇතිද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

තොරතුරු -අයිරංගි එදිරිසිංහ