"ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්රයත්න දැරීම" යන තේමාව යටතේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වෙන සමුළුව
අමතා ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.
ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්.
ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා.
තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.
ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා.
2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළා.