රංගනය පිළිබඳ පළමු අදහස ඔබට පහළ වෙන්නෙ කවරදාකද ?

මම ඉස්‌කොලෙ යන කාලෙ මට රගපාන්න හැකියාවක්‌ තියෙනව කියල මගේ යාළුවො දැනගෙන හිටියා. ඒ
කාලෙ මම අම්මත් එක්‌ක ගිහින් චිත්‍රපට බලනවා. ඒ චිත්‍රපටවල චරිත ගෙදර ඇවිත් රගපෑව. ඒ කාලෙ නම් රගපාන්න ලැබුණොත් කියල හිතිලා තියෙනවා.

ඔබ ඒ සිතුවිල්ල යථාර්ථයක්‌ කරගන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයද මේ අද විදින්නේ ?

නැහැ .මට යමක්‌ ලැබෙන්න තියෙනවා නම් ඒක මා කරා පැමිණෙයි කියල හිතනවා මිස ඒ පසුපස හඹායැමේ පුරුද්දක්‌ මට කවදාවත් තිබුණේ නැහැ. මගේ හදහනේ නම් ලියෑවිලා තිබිලා තියෙනවා මම ජනප්‍රිය කෙනෙක්‌ වෙන බවත් හා ආරක්‌ෂක අංශයට සම්බන්ධ රැකියාවක්‌ කරන කෙනෙක්‌ සමග විවාහ වෙනවා කියලා.

තමන්ගේ එකම දියණිය පිළිබඳ ඔබේ දෙමවුපියන්ට තිබුණේ මොනවගේ බලාපොරොත්තුද ?

මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තුවක්‌ තිබුණා මම නීතිඥවරියක්‌ කරන්න. මගේ හිතෙත් ඒ ආසාව තිබුණා. නමුත් සාමාන්‍ය පෙළ පන්තියට විතර එද්දි මගේ හීනය වෙන්නෙ විවාහයයි. ඉක්‌මනින්ම විවාහවෙලා දරුවො ගොඩක්‌ ඉන්න පවුලක්‌ හදාගන්න ඕන කියන එක. ඒ නිසා මම ඉස්‌කෝලෙන් අස්‌වුණ ගමන්ම අම්මලට කියනවා මට දැන් විවාහ වෙන්න ඕනෑ කියල. ඒ වෙද්දි මට ධම්මිකව මුණගැහිල හිටියේ. මගේ දෙමව්පියන් මාව විවාහ කරදෙනවා. ඊට පස්‌සෙ මගේ හිතේ කොතැනකවත් ලස්‌සන පවුල් දිවියකට හැර වෙනත් ආසාවකට ඉඩක්‌ ඉතිරි වෙලා තිබුණේ නැහැ.

රගපාන්න පළමු අවස්‌ථාව හිමිවෙන්නෙ අහම්බයකින්ද ?


1994 මම විවාහ වුණා. 96 අවුරුද්දෙ අපි හිටියෙ හුංගම. ධම්මික ඒ දිනවල හුංගම පොලිස්‌ ස්‌ථාධිපතිවරයා ලෙස සේවය කරමින් හිටියා. එක දවසක ශ්‍රියාණි අමරසේන මහත්මිය අපි පදිංචිවෙලා හිටිය පොළිස්‌ නිල නිවාසයට දුරකතන ඇමතුමක්‌ ලබාදීලා ඇය නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යයකට ඇයගේ පෙනුම තියෙන කෙනෙක්‌ රගපාන්න හොයනව ඒ චරිතය රගපාන්න මම කැමතිද කියල අහනවා. ඇත්තටම ඒක මට අදහාගන්න බැරි ආරාධනාවක්‌ වුණා.ඔය විදිහටයි මගේ පළමු ටෙලි නාට්‍ය වන ඉරබටු තරුව හි රගපාන්න ඇරයුම ලැබුණේ.

යහපත් බිරිදකගේ හීනයේ සිරවි සිටි සේමිණිට මේ අහඹු ඇරයුමට එකගවෙන්න ඉඩ සැලසෙන්නේ කොහොමද ?

ඒ අවදිය වෙද්දි මම විවාහවෙලා දරුවෙක්‌ බලාපොරොත්තුවෙන් හිටිය කාලය. නමුත් කිහිප අවස්‌ථාවකම දරුවන් මගේ කුසට ඇවිත් ඒ දේ මට අහිමි වීම නිසා මම හිටියෙ කලකිරුණු මානසිකත්වයකින්. බිදවැටුණ මගේ මානසිකත්වයට මේ අලුත් වෙනස සහනයක්‌ වෙයි කියල ධම්මික මට රගපාන්න යන්න අවස්‌ථාව දුන්නා.

රගපෑම ඔබට අයිති කලාවක්‌ ලෙස පළමු රංගනයම ඔබට තහවුරු කරනවාද ?

රොබින් ප්‍රනාන්දු මහත්මය එක්‌කයි මම පළවැනි දර්ශනය රගපෑවේ. ඒ පළමු දර්ශනය රූගත වීමත් සමගම සුදත් රෝහණ අධ්‍යක්‌ෂවරයා මට පවසනවා සේමිණි ඔබ කවදා හෝ ලංකාවේ දක්‍ෂතම නිළියක්‌ වෙනවා කියලා.

සේමිණි මේ තාක්‌ දුර ගමනක්‌ යන්නට පදනම සකස්‌ කරගන්න මොනවගේ කැපකිරීමක්‌ද කරන්නේ ?

ආරම්භයේ පටන්ම මට දිගටම වැඩ ලැබෙන්න පටන් ගත්ත. මම ඇරයුමක්‌ මත මේ ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක්‌නෙ. එදා ඉදන්ම මම පිටපත බලල මට යම් දෙයක්‌ කරන්න පුළුවන් කියල හිතෙන චරිත පමණක්‌ තෝරාගෙන කරන්න පුළුවන්කම මට තිබුණා. ඒ විදිහට තමයි එදත් අදත් මම ක්‍ෂේත්‍රයේ වැඩ භාරගත්තේ සහ වැඩ කරගෙන ගියේ. මේ පසුබිම තුළ මට ස්‌ථාවරත්වයක්‌ ගොඩ නැගුණා.

බිරිදක වීමේ හීනයේ සිරවි සිටි සේමිණිට නිළියක වීම වැනි ආකර්ෂණය හීනයක්‌ අයිති වෙද්දි ඔබට මේ දෙක සමබර කරගන්න හැකිවුණාද ?

මම හැමතිස්‌සෙම මුල්තැන දුන්නෙ බිරිදගේ භූමිකාවට. මොකද මම නිළියක්‌ වෙන්න බිරිදක්‌ වෙලානේ. නමුත් මම මගේ රංගන දිවියේදී එකී කටයුත්තට මගේ උපරිම සහාය දෙනවා. මගේ පෞද්ගලික දිවියට කිසිම විදිහක පුළුවන් කමක්‌ වුණේ නැහැ මගේ රංගන කාර්යට බලපෑමක්‌ කරන්න. කොහොමටත් මම එක දිගටම වැඩ භාරගත්ත කෙනෙක්‌ නෙවෙයි. එක නිර්මාණයක්‌ ඉවරවෙලා ගෙදර ටික කාලයක්‌ ඉදල තමයි මම අනිත් නිර්මාණයට ගියේ . ඔය පසුබිම තුළ මට මේ භූමිකා දෙකේ වගකීම් පැටළුණේ නැහැ.

විසිවසරක අත්දැකීම් සමග අද සේමිණි මේ වෘත්තිය ගැන හිතන්නේ කොහොමද ?


අද රගපෑමෙන් සතුටින් අයින් වෙන්න මට පුළුවන්. මොකද මම දැන් ගොඩක්‌ තෘප්තිමත් .මට ලැබුණ හැම චරිතයකට මම උපරිම සාධාරණයක්‌ ඉටුකරල තියෙනවා. මට දැන් රගපාන එක ගැන ලෝබකමක්‌ නැහැ.

කලා ක්‍ෂේත්‍රය කියන්නෙ හිත හදන තරමටම හිත රිදවන තැනක්‌ කියල කියන කතාව ඔබටත් පොදුයිද ?

මේක ඇතුළේදි වීවිධාකාර මානසික මට්‌ටම්වල හා විවිධාකාර බුද්ධිමට්‌ටම්වල පුද්ගලයන් හදුනාගන්න ලැබුණා. හිත රිදෙන තැන් තිබුණා. නමුත් මගේ ගෙදර පරිසරය ශක්‌තිමත් නිසා මට ඒවාට ඔරොත්තු දෙන්න පුළුවන් වුණා.

හැමදාම නම නිර්දේශ වුවත් දෝතට නොවඩින සම්මානය ගැන සේමිණි අදටත් බලාපොරොත්තු සහගතද ?



මම යම් දෙයක්‌ පසුපස හඹා ගිය කෙනෙක්‌ නෙවෙයි. දෙයක්‌ මට ලැබෙන්න නියමිත නම් එය ලැබෙන තුරු ඉවසන්න පුළුවන්කම මට තියෙනවා. සම්මාන මට ලැබෙන්න ඕනෑ අවස්‌ථා හුඟක්‌ තිබුණා. නමුත් අද වෙනතුරු කවදාකවත් ලංකාවේ ජනප්‍රිය නිළිය කියන ලැයිස්‌තුවට මම ඇවිත් නැහැ. මේ අවුරුදු 20 ට මම ටෙලි නාට්‍ය 25 ක විතර රගපාල තියෙනවා. තවම ටෙලිනාට්‍යයක හෝ සිනමාවේ හොදම නිළිය සම්මානය අරගෙන නැහැ. හැම අවුරුද්දකම හොදම නිළිය නිර්දේශිත නාමයන් අතර මගේ නම නිර්දේශ වුණා. හැබැයි අද වෙනතුරු සම්මානයක්‌ මගේ අතට ලැබිලා නැහැ. නමුත් බුද්ධික දමයන්තගේ පුංචි ආදර බලකිරීම කියන වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොදම නිළිය සම්මානය මට ලැබිලා තියෙනවා. රංගනයේ අමාරුම මාධ්‍යයේ මට සම්මාන ලැබිලා තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.

සේමිණි චරිතයකට සූදානම් වෙන්නෙ කොහොමද ?


පිටපතක්‌ අතට ලැබුණම මම ඒ පිටපත දෙපාරක්‌ තුන්පාරක්‌ කියවනවා. මම තනියෙන් ඒ චරිතය අධ්‍යයනය කරනවා. නොදන්නා චරිතයක්‌ නම් එවන් චරිතයක්‌ ඇසුරු කරනවා. මගේ සම්මානය හිමිවුණ පුංචි ආදර බලකිරීමක්‌ නාට්‍යයේ මට රගපාන්න ලැබුණේ සමලිංගික කාන්තාවකගේ චරිතයක්‌. එතැනදි මම එවැනි කාන්තාවක දැන හදුනාගෙන කතාබස්‌කිරීමෙන් එම චරිතයේ ලක්‌ෂණ සොයාගත්තා. එවැනි සූදානම් විම් තියෙනවා. මේ හැම දෙයක්‌ම කෙලවර අධ්‍යක්‌ෂකවරයා සමග කතාබහකට එළැඹෙනවා. සමහර අධ්‍යක්‍ෂවරු නම් ඉන්නවා ඇක්‌ෂන් කියනවයි කට්‌ කියනවයි විතරයි. එවැනි අය සමග වැඩ කරද්දි මම සොයාගත් දේවල් එක්‌ක චරිතය කරගෙන යනවා. ඇතැම් අධ්‍යක්‌ෂවරු සමග චරිතය ගැන පුළුල් කතාබහක කළ හැකිවෙනවා මෙන්ම මම නොදන්නා මගේ හැකියාවන් ඉස්‌මතු කරලන්න අවස්‌ථාත් තියෙනවා.

නිර්මාණයක්‌ වෙනුවෙන් කළ අමතක නොවන කැපකිරීම් මොනවද ?
හැම නිර්මාණයක්‌ කැපවිමෙන් තමයි කරන්නෙ. ඒ අතරින් 28 චිත්‍රපටය වෙනුවෙන් ගොඩක්‌ වෙහෙස වුණා. නෙතුපියන තුරා ටෙලි නාට්‍ය වෙනුවෙන් මම මගේ ගිස බූගා දැමුවා. එවැනි අවස්‌ථා තියෙනවා.

28 න් පසුවත් සේමිණිට එවැනි සුවිශේෂ චරිත ලැබුණද ?

ඊට පස්‌සෙ චිත්‍රපට දෙකක්‌ තුනක්‌ කළා. නමුත් 28 තරම්ම සුවිශේෂයි කියල කියන්න බැහැ. ලබන මාසයේ රගපෑමට නියමිත රන්ජන් ප්‍රසන්නගේ විසංගමනය සුවිශේෂ නිර්මාණයක්‌වෙයි කියලා හිතෙනවා.

එදා ඔබ දුටු ටෙලි නාට්‍ය හා අද ඔබ දකින ටෙලි නාට්‍ය අතර ඇති වෙනස මොකක්‌ද ?


අපි රගපාන්න පටන් ගන්න කාලෙ ටෙලි නාට්‍ය කියන්නෙ එච්චර සරලව කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. එහා ගැඹුරක්‌ හා කලාත්මක ලක්‌ෂණ තිබුණා. අද වෙද්දි ටෙලි නාට්‍ය කියන එක හරිම සරල දෙයක්‌ වෙලා. ඔය තත්ත්වය නිසාම මම අවුරුදු පහක්‌ තිස්‌සේ කිසිම ටෙලි නාට්‍යයක රගපාන්න උනන්දුවක්‌ තිබුණේ නැහැ. ටෙලි නාට්‍ය කලාව ගැන දුකයි .ඒක අද තනිකරම ව්‍යාපාරයක්‌ වෙලා ඉවරයි. කලාත්මක පැත්තක්‌ දකින්නම නැහැ. ඉදහිට තමයි හොද නිර්මාණයක්‌ හමුවෙන්නේ.

ධම්මිකා සුරංජි පතිරණ (මීවිත)