පසුගියදා දකුණු පළාතට ඇද වැටුණ උල්කාෂ්මියට අදාළව දික්වැල්ල ප්‍රදේශයේ නිවෙසක වහලයකින් හමු වූ බව කියූ පාෂාණ කොටස උල්කාෂ්මියට සම්බන්ධ දෙයක් නොවන බව ඒ අතර කිසිදු සම්බන්ධතාවක්
නොමැති බව කොළඹ

විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
සරසවි පර්යේෂණ කණඩායම් දෙකක් සිදු කළ පර්යේෂණ මඟින් එය තහවුරු වී
ඇති බවත්, අදාළ පාෂාණය පතිත වූ වේලාව සහ උල්කාෂ්මිය ගමන් කළ වේලාව අතර විශාල පරස්පරයක් පවතින බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

එම පාෂාණය වහළට පතිත වූ බව පැවැසූවත් එය වහළ හා ඝට්ටනය වූ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වූ බවත්, දකුණු ප්‍රදේශයට දර්ශනය වූ උල්කාෂ්මිය පිළිබඳව තවදුරටත් පරිකෂණ සිදුකෙරෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
නිවසක වහළයක් මතට වැටුණ උල්කාෂ්මි කොටසක් යයි දක්වමින් මෙම ගල් කැබැල්ල ගැන විශාල අවධානයක් යොමුවූ අතර එම ගල් කැබැල්ල වැටුණ නිවසේ හිමිකරු දික්වැල්ල ප්‍රාදේශීය මාධ්‍ය වේදීයෙකු වීම නිසා සියලු මාධ්‍ය වෙත මේ පුවත ළඟා විය.