නිල්වලා විශ්වමාලි කිව්වම ඔබ බලයි කවුද අප්පේ ඒ ලස්‌සන නමේ හැඩකාර කෙල්ල කියලා. නර්තනයට උපන් හපන් ඇය නිරූපනයෙනුත් ඒ හපන්කම ඒ විදියටම පෙන්වා අවසන්. ඒ යන අතරෙදී තමයි ඇයට රංගනයට මංපෙත් විවරවෙලා තියෙන්නේ. රංගනයෙනුත් දස්‌කම් පෙන්වන මේ සුරූපිනිය වෙන කවුරුවත් නෙවෙයි ඒ ඔබ ආදරය කරන කලනි. දෙවැනි ඉනිමේ කටකාර කලනි ඇය ගැන මීවිතට කිව්වේ මෙන්න මෙහෙම.



නිල්වලා ඉතිං කොහොමද ?

හොඳයි ඉතිං. ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ගොඩක්‌ තියෙනවා මේ දවස්‌වල.

එච්චරටම ප්‍රේක්‌ෂක ප්‍රතිචාර තියෙනවද ?


ඔව් ගොඩක්‌ ප්‍රතිචාර තියෙනවා. එළියට බැහැපු ගමන් ප්‍රේක්‌ෂකයන් මාව වටකර ගන්නවා. සෙල්ෆි ගන්නවා. දෙවැනි ඉනිම නිසා තමයි මේ හැම දෙයක්‌ම. හොඳයි ඉතිං සතුටුයි.

අධ්‍යාපන කටයුතු අවසන්ද ?

තවම මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. මේ දෙසැම්බර්වල උපාධි ප්‍රදානෝත්සවය තියෙනවා. නර්තන අංශයෙන් තමයි මගේ උපාධිය හැදෑරුවේ. ඒ කටයුතු අවසන් වනවාත් එක්‌කම ඉන්දියානු කථක්‌ නර්තනය හදාරන්න කටයුතු සූදානම් කරගෙන ඉන්නේ. ඒ කටයුතුත් අවසන් වෙනවා අවුරුදු දෙකක්‌ වගේ යද්දී.

ඒ කියන්නෙ දෙවැනි ඉනිමද නිල්වලාගේ පළමු රූපවාහිනී ආගමනය ?

නැහැ. පාසල් කාලයේ ඉඳන් තමයි මම නර්තනය හැදෑරුවේ. ඒ හරහා තමයි පළමු රූපවාහිනි වැඩසටහනට මම සම්බන්ධ වෙන්නේ මගේ යාලුවෙක්‌ මාර්ගයෙන්. ඒ 2013 දී සිරස නාලිකාව මගින් පවත්වපු ඩාන්සින් ස්‌ටාර් වැඩසටහන. ඒක තමයි මගේ පළවෙනි රූපවාහිනි ආගමනය. ඒකෙදී මම අවසන් දොළහට තේරී පත් වෙනවා. දෙවැනි ඉනිම වෙනකන් මට මතකහිටින දේකට මට තිබුණේ සිරස ඩාන්සින් ස්‌ටාර් තමයි.

නර්තන ශිල්පිනිය කොහොමද නිරූපිකාවක වෙන්නේ ?

ඔව් මම නර්තනය හදාරන අතරේ මම වාසනා දන්තනාරායන මහත්මියගේ ඇකඩමිය හරහා. ඒ තුළින් මට අවස්‌ථාව උදාවෙනවා බෙස්‌ට්‌ මොඩ්ල් ඔෆ් ද වල්ඩ් කිරුළ ජයග්‍රහණය කරන්න.

නිරූපනය අතෑරලා දැම්මද ?

නිරූපනය නැවැත්තුවේ මම රංගනයට එනවත් එක්‌කමයි. ඒ කියන්නේ දැනට අවුරුදු දෙකකට උඩදී.

එතකොට රංගනයට එන්න හිතුණේ ?

නර්තනය, නිරූපනය දෙක කරගෙන ඉන්න අතරමැදදී තමයි මට රංගනයට ආරාධනා ලැනෙන්නේ. ඒ ක්‍රිස්‌ටි ෂෙල්ටන් මහතා අධ්‍යක්‌ෂණය කළ ස්‌වාධීන රූපවාහිනියෙන් විකාශනය වුණු ටී 20 ටෙලිනාට්‍යයට. ඒ හරහා තමයි මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ.

ඊට පස්‌සේ මොනවද කරපු වැඩ කටයුතු ?

ඊට පස්‌සේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ අධ්‍යක්‌ෂණයෙන් සියත නාලිකාවට එන්න තියෙන ඉලන්දාරි හැන්දෑව, දෙරණෙන් විකාශනය වුණු සසර වස්‌සානේ නාට්‍යය, ගැමුණු මහරජ වගේ නාට්‍යයන්වලට දායකත්වය සැපයුවා.


නිල්වලා කොහොමද දෙවැනි ඉනිමට සම්බන්ධ වෙන්නේ ?

වෙනස්‌ වෙනස්‌ විදියේ චරිත ගණනාවක්‌ කළාට පස්‌සේ තමයි මට දෙවැනි ඉනිම කලනිගේ චරිතය ලැබෙන්නේ. ඉන්ටවීව් ගණනාවක්‌ තියලා තමයි ඒ චරිතෙට මාව තෝරගත්තේ. අනෙකුත් චරිතත් ඒ වගේමයි. ගොඩක්‌ අය නිල්වලා කියන කෙනාට වඩා දන්නේ කලනි කිව්වමයි.

සැබෑ ජීවිතෙත් ඒ වගේම කටකාරද ?

ඔව් ටිකක්‌ ඒ චරිතයට සමානයි. හැබැයි ඒ වගේ කටට එන එන හැම දෙයක්‌ම කියන්නන් වාලේ කියල දාන්නේ නැහැ. ගොඩක්‌ හිතල මතල තමයි මම හැබෑ ජීවිතේදී කතාකරන්නේ.

කලනි ටිකක්‌ ඕවර් ඇක්‌ටින් වගේ නේද ?

ඔව් ඒක මටත් වෙලාවකදී හිතුණා. අනෙක්‌ අයගෙන් මම අහපු අවස්‌ථාත් තියෙනවා මම ඕව ඇක්‌ටින්ද කරන්නේ කියලා. මම කලින් කරපු චරිතත් එහෙම චරිත නෙවෙයි නිසා වෙන්න ඇති මට එහෙම දැනෙන්න ඇත්තේ.

ඉදිරියේදී රංගනයද, නර්තනයද, නිරූපනයද, කියල ඇහුවොත් ?

දැන් මම රංගන ශිල්පිනියක්‌ වුණාට මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වෙ නර්තනය හදාරන්න. නර්තනය දැන් මගේ ජීවිතයේ කොටසක්‌ වෙලා ඉවරයි. නර්තනය තමයි මගේ වෘත්තීය.

මේ තරම් ප්‍රේක්‌ෂකයෝ ආදරය කරන තරමට දුක නැද්ද රංගනය අතාරින්න ?

ඇත්තටම දුකයි. දැන් මේ රසිකයන් ආදරය කරන තරමට, ඒ දේවල් දැක්‌කම හැමදාමත් ඒ දේවල් තියෙනවනන් කියල හිතෙනවා.

කළු චරිතයකට ආරාධනා ලැබුණොත් ?

කළු චරිත කරන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ප්‍රේක්‌ෂකයා ආදරය කරයි කියලා හිතෙන චරිත විතරක්‌ කරනවා.

අලුත් අය එද්දී ඔබට යන්න වෙනවා දවසක ?

අනිවාර්යෙන්ම. ක්‌ෂේත්‍රය දවසින් දවස අලුත් වෙනවා. අලුත් විය යුතුයි. නැත්නන් වැඩක්‌ නෑනේ. කාලයක්‌ යද්දී ඒවා වෙනස්‌ වෙනවා.

දෙව්මි, සමල්කා චරිත දෙකෙන් එකක්‌ නිල්වලාට ලැබුණනම් කියලා හිතුනේ නැද්ද ?

එහෙමනම් කොයි වෙලාවකවත් හිතිලා නෑ. මට ගැළපෙන චරිතය තමයි මට දීල තියෙන්නේ. ඒ චරිතයට සාධාරණයක්‌ කරන්නයි මට ඕන. හැම කෙනෙක්‌ම තෝරගත්තේ ඉන්ටව් කිහිපයකින්. ඒ දේ මට දැනිලා නැහැ.

ප්‍රසංග මාභරණ