ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි තම පුතා හදිසියේ මියගියේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා බවත්, එබැවින් ඊට වන්දි වශයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඔහුට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් හය දෙනකුගෙන් තමන්ට කෝටි පහක් අය කර දීමට
නියෝගයක් ලබා දෙන ලෙස

ඉල්ලමින් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළක් නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා චෝදනා ලැබ සිටින රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍යවරුන් හය දෙනාට ජනවාරි මස 8 දින අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කරන ලෙසද නුගේගොඩ දිසා විනිසුරු සහන මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.

පැමිණිලිකාර මවුපිය යුවළ සිය නීතිඥවරිය වන චන්ද්‍රාණි දයාරත්න මහත්මිය මඟින් නඩුවක් ගොනු කරමින් පවසා ඇත්තේ නීති විද්‍යාලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කළ 27 හැවිරිදි තම පුතා අසනීප තත්ත්වයක් හේතුවෙන් 2015.10.16 දින ඉහත කී රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවයි.
එසේ ප්‍රතිකාර ලබමින් සිටි තම පුතාට රෝහල තුළදී පැපොල රෝගය වැලඳුණ බවද එහෙත් එම රෝගය නිසි ලෙස හඳුනා ගැනීමට ඔහුට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් අපොහොසත් වූ බවද ඒ නිසා ඔවුන් විසින් ලබාදුන් එන්නත් විසවීම හේතුවෙන් තම පුතා හදිසියේ 2015.10.17 දින මියගිය බවද එම මවුපිය යුවළ පවසති.
තමන් කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයන් බවද මසකට රුපියල් පනස් දහසක පමණ ආදායමක් ලැබූ තම

පුතා නිවෙසේ සියලු වියහියදම් කටයුතු සිදු කළ බවද ඔහු ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ බවද තම පුතාගේ හදිසි අභාවය නිසා එම කටයුතු ඉටු කිරීමට නොහැකි වීම තුළින් තම පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවකට පත්ව ඇති බවද එම මවුපිය යුවළ පවසති.

එම ආර්ථික දුෂ්කරතාවන්ට අමතරව තම පුතා අහිමි වීම තුළින් තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවද පවසන එම මවුපිය යුවළ සිය නීතිඥවරිය මඟින් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට සිදුවූ එම මූල්‍යමය පාඩුවට හා මානසික පීඩනයට වන්දි වශයෙන් ඉහතකී විත්තිකරුවන් හය දෙනාගෙන් රුපියල් කෝටි පහක වන්දියක් අයකර දීමට නියෝගයක් ලබා දෙන ලෙසටය.
තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රසිරි ජයසූරිය හා එච්.එම්. චන්ද්‍රාවතී යන මවුපිය යුවළ මෙම සිද්ධියේ පැමිණිලිකරුවන් වන අතර මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි උදාර හසරැල් ජයසූරිය නමැති තරුණයෙකි.

කුමුදු උපුල් ශාන්ත