වෙඩි තිබ්බත් තමන් ලාහෝරයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට සහභාගි වන බව ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (25දා) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් පැවැසීය.
ජාත්‍යන්තර ක්‍රිකට්

කවුන්සිලයෙන් (අයි. සී. සී.) ලාහෝරයේ ආරක්ෂාව යහපත් බවට සහතිකයක් දුන් බවත් ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කර වෙනම වාර්තාවක් ලබා දීමට කටයුතු කරමින් ඇති බවත් කීවේය.
ත්‍රස්තවාදී යුද්ධයේදී ශ්‍රී ලංකාවට පාකිස්තානය උදවු කළ බවත් 1996දී මෙරට ලෝක කුසලානය පැවැති අවස්ථාවේ ක්‍රිකට් තරගවලට සහභාගි වෙමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දුන් බවත් ඔහු එහිදී සිහිපත් කළේය.

ක්‍රිකට් තරගයට සහභාගි වීමට කැමැති ක්‍රීඩකයන්ට ඒ සඳහා අවස්ථාවක් දී ඇති බවත් විස්සයි-20 තරග තුනම එක් කණ්ඩායමක් ක්‍රීඩා කිරීම අවශ්‍ය බවත් කීවේය. එමෙන්ම ක්‍රිකට් පුහුණුකරුවන් සම්බන්ධව ක්‍රිකට් ආයතනය තීන්දුවක් ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

දෙනගම ධම්මික රණවීර