බ්‍රිතාන්‍ය ජාතිකයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළු
වීම වළකාලමින් පනවා ඇති ඇප කොන්දේසිය ඔහු විසින් උල්ලංඝනය කර තිබේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

එම පැමිණිල්ල ඊයේ (24දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් බි්‍රතාන්‍ය ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ සැකකාර මාලක සිල්වාට ඇප නියම කිරීමේදී රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළු වීම තහනම් කරමින් ඇප කොන්දේසියක් නිකුත් කළ බවයි. එම ඇප කොන්දේසිය සැකකරු විසින් උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ එම නීතිඥවරු ඒ පිළිබඳව සොයා බැලීමේ නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
එම ඉල්ලීමට විරෝධය පළකළ සැකකාර මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියහ.


පැමිණිල්ල නැවත මාර්තු 6දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට මේ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
මේ අතර පැමිණිලිකාර බි්‍රතාන්‍ය ජාතිකයා විසින් තමන්ටද පහර දුන් බවට චෝදනා කරමින් මාලක සිල්වා විසින්ද ඉදිරිපත් කර ඇති පැමිණිල්ලද එදිනට කැඳවීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය 2014 වසරේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කේ. එස්. උදයකුමාර්