මෙම පැමිණිල්ල දමා ඇත්තේ හලාවත, අඹකඳවිල මීසම් පාලනාධිපති පීටර් බොතේජු පියතුමාය.
එම පැමිණිල්ල අනුව අඹකඳවිල, සමිඳුගම ප්‍රදේශයේ පිහිටි බහුමාන් වත්තෙන් 2014 වසරේ සිට මාළුන් ඇති කිරීමට ටැංකි හදන මුවාවෙන් වැලි ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව උග්‍ර පාරිසරික ගැටලුවලට මුහුණදී
විවිධ අංශවලට මේ සම්බන්ධයෙන් දන්වා ඇතත් මේ දක්වා මෙම පරිසර විනාශය නතර කිරීමට වගකිවයුතු අංශ කිසිදු පියවරක් ගෙන නැති අතර වැලි ඉවත් කිරීමට දිගටම සිදුවන බවත් දක්වා ඇත.
මෙම තත්ත්වය තුළ සමිඳුගම ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින නිසා තම මීසමේ දේවස්ථාන පහේ බැතිමතුන්ගේ දායක සභාව රැස්වී මෙම වැලි ඉවත් කිරීම නතර කිරීමට පියවර ගැනීම පිණිස පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දක්වා ඇති බවත් පොලිසිය කියයි.
එම තීරණය මත ඊයේ (25දා) රාත්‍රි අඹකඳවිල හා හලාවත ප්‍රදේශයෙහි එම පෝස්ටර් ඇලවූ බවත් පසුව රාත්‍රි අලවා ඇති පෝස්ටර් නැරැඹීමට ගිය අවස්ථාවේදී මැදවත්ත ප්‍රදේශයේ යතුරුපැදිවලින් පැමිණ සිටි තිදෙනකු අප ඇලවූ පෝස්ටර් ගලවමින් සිටියදී ඔවුන්ගෙන් දෙදෙනකු සමඟ කතාබහ කරද්දී ඔවුන් අතර සිටි අයකු තම යතුරුපැදියෙන් පලා ගිය බවත් ඒ මන්ත්‍රිතුමාගේ බාල පුතා බව තමන් සමඟ සිටි අය හඳුනාගෙන ඇති බවත් පියතුමා පොලිසියට කියා ඇත.
එම අවස්ථාවේදී තමන් ප්‍රශ්න කළ දෙදෙනා යළි යතුරුපැදියෙන් පිටව යන්න සූදානම් වෙද්දී ඔවුන් අඹකඳවිල දෙව්මැඳුර කරා ගෙන ආ බවත් එහිදී ඔවුන්ට පැමිණි දුරකතන පණිවුඩ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර කුමාර අබේසේකර මහතාගේ ලොකු පුතා බව දැන ගත් අතර ඔහුට විස්තරය කියා තමා පියතුමා බව කී අවස්ථාවේදී දුරකතනය විසන්ධි වූ බවත් ඒ වන විට විශාල ගම්වාසීන් පිරිසක් එහි රැස්ව සිටි බවත් කීය.
පසුව ඩිපෙන්ඩර් රථයකින් පිරිසක් සමඟ පැමිණි මන්ත්‍රිවරයා තමන් හා සාකච්ඡා කළ අතර ඔහුට තමන් මෙම පරිසර විනාශය ගැන දන්වා සිටි බවත් මෙය නතර කර ගැනීම පිණිස පෝස්ටර් ගැසූ බවත් කී විට මන්ත්‍රිවරයා පෝස්ටරයේ ඇත්තේ කුමක්දැයි විමසූ විට පෝස්ටරයේ ඇත්තේ වැලි හොරුන්ට හෙනගහපියව් යන්න ඇති බව කී විට කුපිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමාට අවිනීත ලෙසින් දෝෂාරෝපණය කරමින් එහි සිටි පිරිසටද තර්ජනය කරමින් හොඳයි මම බලා ගන්නම්කෝයි කියමින් පිටව ගිය බවත් සඳහන් කර ඇත.
මෙම අවස්ථාවේදී මන්ත්‍රිවරයා අධික ලෙසින් මත්පැන් පානය කර සිටි බව ප්‍රදේශවාසීන් තේරුම් ගෙන ඒ බව තමාට දැන්වූ බවත් පියතුමා සිය පැමිණිල්ලට එක්කර ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සාධාරණය ඉටුකර දෙන ලෙසද පොලිසියෙන් ඉල්ලා ඇත.
මේ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර කුමාර අබේසේකර මහතා විසින්ද පැමිණිල්ලක් හලාවත පොලිසියට කර ඇති අතර ඒ මඟින් දක්වා ඇත්තේ පෙරේදා (25දා) රාත්‍රි තම හිතවතුන් පිරිසක් පෝස්ටර් ගැලවූ බව කියමින් පිරිසක් අල්ලාගෙන අඹකඳවිල දෙව් මැඳුර කරා ගෙන ගිය බව දැනගෙන පියතුමා සමඟ කතාබහ කර ඔවුන් කැඳවාගෙන පැමිණි බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට තැත් කළ අවස්ථාවේදී මන්ත්‍රිවරයා නඩු කටයුත්තක් වෙනුවෙන් පුත්තලම අධිකරණය හමුවට ගොස් ඇති බව දැන ගත හැකිවිය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කැඳවා පරීක්ෂණයක් සිදු කරන බව හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා කීය.
කෙසේ වෙතත් මන්ත්‍රිවරයාගේ උපන් දින සාදයක් 25දා රාත්‍රි පැවැති බව දැනගත හැකි විය.
හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්