ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතත් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ඔහු
බංග්ලාදේශය සමඟ ගිවිසගෙන ඇති බැවින් නව පත්කිරීමේ කටයුතු ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් සිදුකළ යුතු බව ඊයේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයක් කිරීමට මේ වන විටත් හතුරුසිංහ

මහතා කැමැත්ත පළකර ඇතැයි පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා "ඔහු සහභාගි වන පළමු සංචාරය ලෙස ලබන ජනවාරියේදී යන්න වෙන්නෙත් බංග්ලාදේශයටමයි. තිලාන් සමරවීර බංග්ලාදේශයේ සිට පැමිණ පිතිකරණ පුහුණු තනතුර භාරගත්තා. තිලාන් කියන්නෙත් හතුරුසිංහ සමඟ වැඩකරපු කෙනෙක්. අපි ටිකක් බලමු. අපි මේ ගැන හොඳ දෙයක් කරනවා. පුහුණුකරුවකු විදියට හතුරුසිංහ මහතා ලංකාවෙ හොඳට වැඩ කරගෙන ඉන්නකොට එතුමාව එළෙව්වෙ ඔය ක්‍රිකට් ගැන කතා කරන කට්ටිය රජ කරන කාලෙ තමයි" යනුවෙන් පැවැසීය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හතුරුසිංහ මහතාට ගෙවන ලද ඉහළ වැටුප ලංකාවෙනුත් ගෙවන්නේදැයි ඇසූ පැනයටද පිළිතුරු දෙමින් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා "හතුරුසිංහ කියන්නේ බංග්ලාදේශ කණ්ඩායම ලෝකයේ ඉහළ තැනකට ගෙන ආ පුහුණුකරුවෙක්. පළමුව 2019 ලෝක කුසලානය අවසන් වන තෙක්ම වැඩකරන්න කැමැත්තෙනුයි ඔහු මෙහෙට එන්නේ. වැටුප ගැන කතා කළාම ඔහු කිව්වේ එතරම් වැටුපක් ගැන හිතන්නෙ නැහැ. රට වෙනුවෙන් හිතල තමයි එන්න තීරණය කළේ කියලා. අපි ඒ ගැන ඔහුට ගෞරව කළ යුතුයි. ඔහු ඩොලර් හතළිස් දහසකට වැඩිය ගන්න කෙනෙක්. ඒ වැටුප පැත්තකින් තියල සියලු අභියෝග මැද ලංකාවට පැමිණ තම රාජකාරිය භාර ගැනීම ගැන ස්තුති කළ යුතුයි වගේම ඔහුට සම්පූර්ණ ශක්තිය දිය යුතුයි. අපි ඔහුට ආශීර්වාද කරනවා.