පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු කතිකාවක් පවතී.

පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය.

මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා වෙත මෙම ප්‍රශ්න කිහිපය යොමු කළෙමු.

    පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් නිර්දේශ කළ පෙති වර්ග තිබෙනවාද?

ඔව්; ඒ සඳහා Sidenafil, Tadalafil වැනි ඖෂධ වර්ග තියෙනවා.

    මේ දෙකෙහිම

ක්‍රියාකාරීත්වය එක හා සමානද?

මුල් ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැය ගණනක් දක්වාත්, දෙවෙනි ඖෂධයේ ක්‍රියාකාරීත්වය දින ගණනක් දක්වාත් බලපැවැත්වෙනවා. මේ අතරින් බහුලවම භාවිතා වන්නේ මුලින් සඳහන් කළ ඖෂධයයි.

    Sidenafilයන ඖෂධය මෑතක සිට ජනප්‍රිය වූවක් නේද?

මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය වී ඇත්තේ 1989 වසරේ; ඒ අධික රුධිර පීඩනය, පපුවේ ඇන්ජයිනා කැක්කුම ආදී රෝග වලට ප්‍රතිකාරයක් වශයෙන්. නමුත් එය භාවිතයට ගැනීමෙන් පසුව එහි අතුරුඵලයක් ලෙස එමගින් පුරුෂයන් හට ලිංගික උත්තේජනයක් ලැබෙන බව අනාවරණය වුණා. පුරුෂ ලිංගික බෙලහීනතාව මැඩලීම සඳහා නිර්දේශ කරන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනුණේ ඊට වසර දහයකට පමණ පසුවයි.

    එහෙත් මෙවැනි ඖෂධ වලින් පුද්ගලයන්ට මරු කැඳවන බවට සමාජය පුරා පැතිර යන රාවය කුමක්ද?‍

මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය මත ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා එවැනි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

    සියළුදෙනා කෙරෙහි ඒ අවදානම බල පෑ හැකිද?

බොහෝවිට සුළු වෙහෙස මහන්සියක දී ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නවුන් නයිට්රේට් (Nitrate) ගණයේ ඖෂධ ලබාගන්නවුන් මෙම අවදානමට වැඩිපුර ලක් විය හැකියි.

    හෘදයාබාධ සඳහා බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් වලට ලක් වූවන් මෙම පෙති පෙති පාවිච්චි කිරීම සුදුසුද?

කවුරුන් හෝ මෙම පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා රෝගියාගෙන් කරුණු විමසා අවශ්‍ය නම් අදාල පර්යේෂණද සිදුකොට ඒ පෙති සහ ඒවා භාවිතයට ගත යුතු මාත්‍රාව නිර්දේශ කරනු ඇති.  එසේ නොමැතිව තමන්ගේ හිතුමනාපයට මෙවන් පෙති භාවිතා කිරීමේ දී කිසියම් අවදානමක් තිබෙනවා.

    මෙම පෙති භාවිතයෙන් හෘදයාබාධයකින්

කිසිවෙකු මිය ගිය විට එම හෘදයාබාධයට මෙම පෙති ඉවහල් වූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකිද?

මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක දී විමසා බැලෙනුයේ මරණයට ආසන්න සහ දෘශ්‍යමාන හේතු පමණයි. එහෙත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවූ සොයාගැනීමට (Finding) අමතරව වැඩිදුර සොයාගතයුතු යමක් ඇතැයි හැගේ නම් මිය ගිය තැනැත්තාගේ රුධිර සාම්පල් මරණය සිදුවී පැය දහයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. එවිට මිය යන අවස්ථාවේ ඒ තැනැත්තාගේ රුධිරයේ ඇති රසායනිකයන් වෙන්ව හඳුනාගත හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් මිය ගිය තැනැත්තෙකු වුව මිය යන මොහොතේ මේ ඖෂධය භාවිතා‍ කොට තිබිණිද යන්න එම රසායනාගාර පරීක්ෂණ මගින් මනාව තහවුරු කර ගත හැකියි.

    ලිංගික උත්තේජනයක් වශයෙන් නොමැතිව වෙනත් රෝග සඳහාත් තවමත් මේ ඖෂධය භාවිතා වෙනවාද?

ඔව්; පෙනහළු රුධිර පීඩනය(Pulmonary Hypertension) සහිත රෝගීන්ට මෙම ඖෂධයෙන් සුළු මාත්‍රාවක් ලබා දෙනවා.

    මෙම ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමෙන් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද?

ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පහළ බැසීම නිසා සිදුවන හානි ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන් මෙය සිට්රේට් (Sitrate) සහිත ඖෂධයක් නිසා නයිට්රේට් (Nitrate) සහිත ඖෂධ භාවිතා කරන රෝගීන් මෙම පෙති භාවිතයේ දී වැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්.

    ඒ හැරුණු කොට මෙම පෙති අධිමාත්‍රාවක් ගැනීමෙන් ලිංගික ප්‍රාණවත් වීම පාලනය නොවන තත්ත්වයක් ඇති බවට සමහරුන් මත පළ කරනවා මෙහි සත්‍යයක් තිබේද?

ඔව්; එසේද සිදුවිය හැකියි.

    ඒ සඳහා වන ප්‍රතිකර්මය කුමක්ද?

ඒ සඳහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ රෝහලක දී ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ ගලා යන අධික රුධිරය ඉදිකටුවක් වැනි ශෛල්‍ය උපකරණයක් මාර්ගයෙන් ශරීරයෙන් ඉවත් කිරීමයි.



දමයන්ති ගමගේ