මහගල්කඩවල පුඤ්ඤසාර නායක ස්වාමින්වහන්සේ සීදුව, රද්‍ෙදාළුගමට පිවිසුම් මාර්ගයේ අතුරුදන් වූවන් සිහිකිරීමේ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයේදී මෙසේ පවසා සිටියහ.

යටත්විජිත සමයේ පරදේසක්කාරයන්ගේ න්‍යායට අපව යටත් කර ගැනීමට වෑයම් කළ කල්හි සටන් කළ භික්‍ෂුන් වහන්සේ යුද පෙරමුණට ගොස් එදා සිටි අපගේ නායකයන්ට අවවාද අනුශසනා කරමින් රට බේරාගැනීමට කටයුතු කළා.

අදත් එවැනි භික්‍ෂුන් වහන්සේ නැතිවා නොවෙයි. ඒත් කොළඹට කොටුවූ යම් භික්‍ෂුන් වහන්සේ පිරිසක් විසින් හොඳ නරක දෙක එකට කලවම් කර හැමදේටම විරුද්ධව ජාතීන් අතර අසමඟිය ඇති කරන්න කටයුතු කරමින් සිටිනවා.
ඒ අයට දේශමාමක, දේශ හිතෛෂී යන වටිනාකම්ද එකතුකරගෙන එක එක විවිධ අර බලය, මේ බලය නමින් සංවිධාන ගොඩනඟාගෙන එක එක අයගේ දේශපාලන න්‍යායන්ට අනුව අරගල කරනවා.
මෙවන් භික්‍ෂුන් වහන්සේලාට සුපිරි නිවාස, පිහිනුම් තටාක, යානවාහන, විවිධ වරප්‍රසාද ලබාගනිමින් දිව්‍ය සැප සම්පත් විඳිමින් ජනතාව මුළා කරමින් රිසිලෙස වැජඹෙනවා මිසක් ජනතාවට සාධාරණයක් වන කිසිම දෙයක් කරන්නේ නැහැ.
මේ එක එක බලවේග නැඟිටින්නේ දේශපාලන නායකයන් වරින් වර තම බලය රැකගැනීම අරඹයා කරන්නාවූ යම් වැඩ නිසායි.
ඩී. එස්. සේනානායක මහතාගේ පාලන කාලයේදී දේශපාලන පක්‍ෂවලට පහරදෙන්න

අවශ්‍ය නිසා පුරවැසි පනත් දෙකක් ගෙනැවිත් වතුකරයේ ජනතාවගේ ඡන්ද අයිතිය සහ මානව හිමිකම් අහෝසිකරමින් බලය පතුරුවා ගත්තා.

නමුත් එතුමා විසින් ජනපද ව්‍යාපාරය පටන්ගෙන ඉතා හොඳ සමඟිය ඇතිකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කළා. ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ගෙන ආ ජනරජ ව්‍යවස්ථාවටත් ප්‍රශ්නයක් ඇති වුණා. එදා දෙමළ මන්ත්‍රිවරුන් සියල්ලම පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඉන් අනතුරුව පත් වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඇතුළත් ව්‍යවස්ථාවක් ගෙනආ මොහොතේ උතුර නැඟෙනහිර සියල්ලෝම විරුද්ධ වූවා පමණක් නෙවෙයි එම ව්‍යවස්ථා දෙකටම දකුණේ විශේෂ නායකයන්ද විරෝධය පාමින් ගැරහැව්වා.

පසුකාලේ පත්වූ චන්ද්‍රිකා මැතිනිය ජේ. ආර්. ජයවර්ධනගේ බහුභූත ව්‍යවස්ථාව ආහොසි කරනවා කීවත් අහොසි කළේ නැහැ. ඒ වෙනුවට එතුමිය තව තවත් බලය වැඩිකර ගත්තා.
ඇත්තම කතාව නම් ඉන් පසුව තමයි අනේ‍යාන්‍ය අවිශ්වාසය උඩු දුවන්න පටන්ගත්තේ. ඉන් පසු පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශනවල නිරන්තරයෙන් කියවන්න ගත්තේ ඉහත ව්‍යවස්ථා හොඳ නැහැ කියන දෙයයි.


ඒ වෙනුවට බලය බෙදීමේ න්‍යාය, කේවල ඡන්ද ක්‍රමය ඇති කිරීමේ න්‍යාය, ග්‍රාමීය සභා ඇති කිරීමේ න්‍යාය, ඇතිකරනවා කීවාට එයද ඉටුනොවූ නිසා උතුර කේන්ද්‍ර කරගෙන රැකියා ප්‍රශ්නය ඉඩම් ප්‍රශ්නය, විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ ප්‍රශ්නය උඩුදුවන්න පටන්ගත්තා.
එතුමා වසර තිහක කුරිරු යුද්ධය නැති කළත් ඉන්පසුව සංහිඳියාව, සමඟිය ඇති කරන්න කටයුතු කළේ නැහැ. එය ජනතා ඉල්ලීමක් නිසාම මැතිවරණ පොරොන්දුවට එය ඇතුළත් කරගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි අටවැනිදා ජනාධිපති වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශනයත් එයමයි.

සිංහල, දෙමළ සමඟිය ඇති කිරීමේ වුවමනාව අවශ්‍ය බැවින් මේ වන විට ඒ තැනට පැමිණ තිබෙනවා. එදා ඩී. එස්.ලා, බණ්ඩාරනායකලාගේ කාලයේ සිටම හොඳ ව්‍යවස්ථාවක් ගෙනා සෑම විටෙකම භික්‍ෂුන් වහන්සේ ටික දෙනෙක් පිටපොට ගහගෙන දේශයේ අඛණ්ඩතාව, බෞද්ධාගමට ප්‍රධාන තැන ඉල්ලා සිටිනවා. පසුගියදා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ව්‍යවස්ථා කමිටුවෙන් ඉදිරිපත් කළ කමිටු වාර්තාවෙන් කිසිම ප්‍රසිද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් විරෝධය පා ඇති බවක් පේන්න නැහැ. අතුරු කමිටු වාර්තාවද ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙස සැලකිය නොහැකියි.

මෙවරත් යම් භික්‍ෂුන් වහන්සේ පිරිසක් විසින් ඉතිහාසයේ හැමදාම කළ වරද දිගටම කරමින් නව ව්‍යවස්ථාවට විරෝධය පාමින් බුදුන් දෙසූ ධර්මයට නිගාවන අන්දමේ වැඩකටයුතු කරමින් සිටිනවා. නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු වන කාරණා කීපයක් තියෙනවා. ඒ වෙන දෙයක් නොවෙයි කරුණාව, මෛත්‍රිය, සමානතාව, සංහිඳියාව, මානව දයාව, අනේ‍යාන්‍ය විශ්වාසය වැනි දේවල්.

සීදුවේ - නිශ්ශංක