ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාව පිළිබඳව විවාදය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දෙන බව එ.ජා.ප. නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"අපි විනිවිදභාවයෙන් වැඩකර තිබෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සඟවන්න කිසිවක් නැහැ" අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) කොළඹ කැම්බල් පිටියේදී පැවැති එ.ජා.ප. විශේෂ සම්මේලනය අමතමින් පැවැසීය.

"කොමිෂන් සභා වාර්තාවල හෙළිවන කරුණුවලට සමාන තත්ත්වයක් 2008 වසරේ සිට සිදුවී ඇති බව කොමිෂන් සභාවේ

අදහස බව දක්වා තිබෙනවා. එසේ නම් ඒකාබද්ධ විපක්ෂයට හා මාධ්‍යයට ඒ කරුණු පිළිබඳවත් අපි ක්‍රියාත්මක වෙමු" යි අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
එම කාලයේදී රුපියල් බිලියන 4000ක මුදලක් අනුමැතියෙන් තොරව වෙන්දේසි කර තිබෙන බව පැවැසූ වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිෂන් වාර්තාව පිළිබඳව මාධ්‍යයෙන් මා ගෙන් ප්‍රශ්න කරන්නා සේම මේ පිළිබඳව මහින්ද රාජපක්ෂගෙනුත් ප්‍රශ්න කර සිටින්නැයිද මාධ්‍යයට අභියෝග කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කොයි රටේද තෙවතාවක් එකම සිදුවීමට පරීක්ෂණ සිදුකළේ, කොයි රටේද එකම සිදුවීමට පාර්ලිමේන්තුව තෙවතාවක් විවාද පැවැත්වූයේ යැයි ප්‍රශ්න කරමින් කෙසේ නමුත් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ ලබාදීමට තමන් සූදානම් බවද කීය.