සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙසට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නිර්දේශ කර තිබේ.

බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වල මහතාට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයේ මූලික වාර්තාවක් එම කොට්ඨාසය විසින් අමාත්‍ය සාගල රත්නායක මහතාට ලබාදී ඇත.
මෙම විමර්ශනය ස්වාධීනව හා අපක්ෂපාතීව සිදු කිරීම සඳහා එම පොලිස් නිලධාරියාව තාවකාලිකව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත මාරු කරන ලෙසටද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ලබාදුන් මූලික වාර්තාවේ සඳහන්ව තිබේ.

එසේම මෙම සිද්ධියේදී අදාළ පළාත් සභා මන්ත්‍රිවරයා සහ වැඩබලන ස්ථානාධිපතිවරයා යන දෙදෙනාම වැරැදි ආකාරයට හැසිරී ඇති බවද එම මූලික වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
මේ වන විටත් එදින සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගෙන් සහ සිද්ධියට මුල් වූ සිවිල් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
එසේම අමාත්‍යවරයා විසින්

නිර්දේශ කර ඇති මෙම ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන සිදු කිරීමට නියමිතය.

ඉකුත් 4 වැනි දින නිවාස කොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අශෝක රන්වල මහතා එදින රාත්‍රියේ සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා සමඟ බහින්බස් වීමක් සිදු වී තිබිණි.
මන්ත්‍රිවරයා තමාට පහරදුන් බව පවසමින් එදින රාත්‍රියේ කළ පැමිණිල්ලකට අනුව එම පොලිස් නිලධාරියා විසින් අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාටද පහර දුන් බව පවසමින් මන්ත්‍රිවරයාද රාගම රෝහලට ඇතුළත් විය.
පොලිස් අත්අඩංගුව යටතේ ප්‍රතිකාර ලැබූ අශෝක රන්වල මන්ත්‍රිවරයා මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉකුත් 5දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

එසේම මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගත් සැකකාර තරුණයාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ තම දරුවා නිරුපද්‍රිතව සිය නිවෙසේ රැඳී සිටියදී හදිසියේම සපුගස්කන්ද පොලිස් නිලධාරීන් පැමිණ ඔහුට මාංචු දමා පොලිසියට රැගෙන ගිය බවයි. ඉන් පසු තමන්ද පොලිසියට ගිය නමුත් එම අවස්ථාවේ දරුවාව බැලීමට අවස්ථාව නොදුන් බවත් පසුදින අලුයම පොලිසියට යන විට දරුවාට ඉතාමත් අමානුෂික

ලෙස පහරදී ඇති ආකාරය තමන් දුටු බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ජවිපෙ පළාත් සභා මන්ත්‍රි ආචාර්ය අශෝක රන්වල මහතා දැනුවත් කළ බවත් ඒ මහතා පොලිසියට ගොස් තම දරුවාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් හැකි ඉක්මනින් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කරන ලෙසත් පොලිසියෙන් ඉල්ලා ඇත. ඔහුව අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගත කරන බව එම අවස්ථාවේ වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් එම තරුණයා අධිකරණයට ඉදිරිපත් කර රෝහල් ගත නොකර රක්ෂිත බන්ධනාගාරගත කළ බව කියති. පසුව මේ බව දැනගත් ආචාර්ය අශෝක රන්වල මහතා පොලිසියට ගොස් මෙම තරුණයාව රෝහල් ගත නොකළේ මන්දැයි ප්‍රශ්න කර ඇත. එහිදී කෝපයට පත් වැඩබලන ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනකු එක්ව අශෝක රන්වල මහතාටද ඉතාමත් අමානුෂික ලෙස පහරදී ඇතැයි පැමිණිලි ඇත. පසුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් රන්වල මහතාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර රෝහල් ගත කර තිබේ.

මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අශෝක රන්වල මහතා පොලිසිය තුළදී කිසි ලෙසකින්වත් කලහකාරි ලෙස හෝ පොලිස් රාජකාරියට බාධා වන අයුරින් කටයුතු නොකළ බවත් දරුවා ඉන්නා අසාධ්‍ය තත්ත්වය සලකා බලා ඔහු රෝහල් ගත කර තම දරුවා පිළිබඳව ගන්නා ඕනෑම නීති ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා සිටි බවත් එම පියා අවධාරණය කරයි.

චාමර අමරසූරිය, වේයන්ගොඩ - ඉන්දික තුෂාර, කැලණිය -කුසුම් එස්. හැන්නදි