ITN අවභාවිතාවට 
මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න නිර්දේශ


සියයට සියයක්ම රජයේ කොටස් හිමි ස්වාධීන රූපවාහිනි සේවය අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ වරද මත හිටපු ජනාධිපති. හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 7 කට පසුවත් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි
බරපතළ වංචා දුෂණ සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබු බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති

කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 148 හා 149 වැනි පිටුවල ඉහත නිර්දේශ ඇතුළත් කර පවතියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කරන නිර්දේශ පහත පරිදිය.

2015 ජනාධිපතිවරණයට අදාළව ස්වාධීන රූපවාහිනී ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රචාරක දැන්වීම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකර ගත යුතු රුපියල් 2, 467, 812ක මුදලක් අය කර නොගැනීමෙන් දුෂණය නමැති වරද සිදු කිරීමට හෝ අනුබලදීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීම.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවූ රුපියල් 9, 466, 000ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ විකාශය නොකර එම මුදල් ආපසු ගෙවීමෙන් ආණ්ඩුවට පාඩුවක් කිරීම.

සියයට සියයක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනි ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මේ දුෂණය නමැති වරද කර ඇති බව පෙනී යයි. මෙවැනි වැරැදි සිදු කළ අය රට වෙනුවෙන් සේවයක් සිදු කෙරතැයි අපේක්ෂා කළ නොහැක.

ඒ අනුව වසර 07 කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයන්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබාදීම නුසුදුසු බව මේ කොමිෂන් සභාවේ අදහසයි.

ඒ අනුව මේ කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරැදිකරුවන් වූ අය එසේ වරදකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීම නුසුදුසු බවට වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බවයි.