මැලේසියාව සංවර්ධනය කිරීමේ ගෞරවය හිමි ව තිබෙන ආචාර්ය මහතීර් මොහොමඩ් එරට ප්‍රධාන විපක්ෂය වන පකටාන් හරපාන් සන්ධානය විසින් සිය අගමැති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා.


මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා අගමැති ධුරය දැරුවා. ඔහු දැනට 92 වන වියේ පසුවනවා.

දිගු කළක් එරට පාලක සන්ධානයේ ප්‍රධානම පක්ෂය වන  එක්සත් මැලේ ජාතික සංවිධානය (UMNO) පක්ෂයේ සාමාජිකයකු වූ මහතීර්, පසුගිය වසරවල වත්මන් අගමැති නජීබ් රසාක්ගේ ප්‍රධානම විවේචකයකු බවට පත් වුණා.

නජීබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී ඇති අතර

මහතීර් මොහොමඩ් සිය පක්ෂය හැරදමා විපක්ෂයට එක් වීමට තීරණය කළේ නජීබ් රසාක් සමඟ වූ විරසකය හේතුවෙන්. මහතීර් විසින් 2016 දී නව පක්ෂයක් පිහිටවූ අතර පරකට් හරපාන් සන්ධානයේ එය ඇතුලුව පක්ෂ හතරක් වනවා.

පකටාන් හරපාන් සන්ධානයේ ප්‍රධාන සාමාජිකයා වන්නේ හිටපු උප අගමැති අන්වර් ඊබ්‍රහීම්ගේ පක්ෂයයි. අන්වර් ඊබ්‍රහීම් කළක් මහතීර් යටතේ උප අගමැති වුවද පසුව මහතීර් විසින් ඔහුව දූෂණ සහ සම ලිංගික චෝදනා මත සිරගත කෙරුණා. බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේවා මහතීර්ගේ අවශ්‍යතාව මත ගොතන ලද ඒවා බවයි.

එතැන් පටන් මෑතක් වනතුරු පසමිතුරන්ව සිටි මහතීර් සහ අන්වර් ඊබ්‍රහීම් යළි සමීප වූයේ නජීබ් රසාක්ගේ පොදු සතුරන් වීම නිසායි. ඊබ්‍රහීම් තවමත් සිරගතව සිටින අතර ජූනි 8 වනදා නිදහස ලබන්නට නියමිතයි. ඔහුගේ නීතීඥයන් නියා සිටින්නේ ඔහු වෙත රාජකීය සමාවක් ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

යම් හෙයකින් අන්වර් ඊබ්‍රහීම්ට එරෙහිව ඇති නෛතික බාධා ඉවත්ව ඔහුට අගමැති වීමේ හැකියාව මතු වුවහොත් මහතීර් ඔහුට ඉඩ දීමට නියමිතය​.

එළඹෙන අගෝස්තු 24 වනදා හෝ ඊට පෙර මැලේසියානු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.