මෙරට සිටින සියලුම හීලෑ අලි ඇතුන් බලාහදා ගන්නා ඇත් ගොව්වන්ට ඉදිරි මාස කීපය තුළදී නිසි පුහුණුවක් හා එකී පුහුණුවට අදාළ බලපත්‍රයක් ලබාදීමට බුද්ධශාසන තිරසර හා වනජීවී අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මේ වන විට දිවයින පුරා හීලෑ අලි ඇතුන් බලා හදා ගන්නා ඇත්ගොව්වන් හා අලි ඇතුන් බලාහදා ගන්නා පෞද්ගලික හිමිකරුවන් 500 දෙනකු පමණ සිටින බවත් එහෙත් ඔවුන්ට නිසි විද්‍යාත්මක පුහුණුවක් නොමැති කමින් පසුගිය විවිධ කාලසීමාවන්වලදී පුද්ගලයන් අනතුරුවලට පත්ව ඇති බවත්

එකී අමාත්‍යාංශය මඟින් අනාවරණය කරගෙන ඇත.

තවද ඇතැම් ඇත්ගොව්වන් බීමතින් එකී සතුන්ට නිතර නිතර හිරිහැර කිරීම් සිදුකරන බවටද වාර්තා වී ඇති බවත් මෙවැනි නිසි පුහුණුවක් ඔවුන්ට ලබාදීම තුළින් ඔවුන් වඩාත් විනයගරුක පුද්ගලයන් බවට පත් කිරීමට හැකියාව තිබෙන බවද එම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (6දා) පෙරවරුවේ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිය අවස්ථාවේදී එහි විහාරාධිපති ධම්මරතන හිමියන්ද බැහැදැක මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් ධම්මරතන හිමියන්ද එකී අදහසට කැමැත්ත පළ කර ඇති බවත් අනාවරණය වෙයි.

කුමුදු උපුල් ශාන්ත