FM පෙම්වතියට TV පෙම්වතා පහරදීලා


ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක තරුණ නිවේදිකාවකට පහරදුන් බව කියන ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තරුණ නිවේදකයෙකු කොල්ලුපිටිය පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් නිවේදකයා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පුතෙකු
බවද වාර්තාවේ.

වසර 4 ක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබී ඇත.
මෙම සබඳතාවය තුළ ඇතිවූ කිසියම් සැකයක් මත දෙදෙනා අතර පසුගිය දිනවල ගැටුමක් හටගෙන තිබී ඇත්තේ දෙදෙනා අතරට තවත් කෙනෙකු පැමිණි ආරංචියක් නිසාය. මේ නිසා තරුණිය තරුණයා හමුවීම ප්‍රතික්ෂේප කර තිබුණ බවද වාර්තාවේ. මේ අතරවාරයේ ඇය වැඩ ඇරී ගමන් කරන දිනයක් බලා කොල්ලුපිටිය දුම්රිය මාර්ගය අසලට පැමිණ ඇති තරුණයා ඇයව බලෙන් හමුවී අදාළ ගැටලුව ගැන සාකච්ඡා කර තිබේ.
එම අවස්ථාවේ ඇතිවූ කථාබහ දුරදිග ගොස් පහරදීම සිදුව තිබේ. ඇය 119 අංකය අමතා තමාට සිදුවූ කරදරය පොලිසියට දැන්වීමෙන් පසු එදින රාත්‍රියේම නිවේදකයා සිටි නිවස වැටලූ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ නිවේදිකාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කොල්ලුපිටිය පොලිසිය  වාර්තා කර තිබේ.
රූපවාහිනී නිවේදකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.