මුල්වරට මිලිටරි ගුවන් යානයකින් 
පිටරටකින් ලංකාවට ගෙන්වූ ඇතා මියන්කුමාර


බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියන්ගේ අනතුරට මුල්වූ මියන් කුමාර ඇතා මීට වසර හතරහමාරකට පමණ පෙර 2013 මිලිටරි ගුවන්යානයකින් මියන්මාරයේ සිට ලංකාවට ගෙන්වීමේ කටයුත්ත සිදු කළ පශු වෛද්‍යතුමන් එම විස්තරය පවසා තිබුනේ පහත ආකාරයටය.
මෙම ඇතා දඟකාරයෙකු බවත් සියඹලා කවා මෙල්ල කළ හැකි බවත් ඇත් පැටවාට නම් තබන ලද්දේ බෙල්ලන්විල හිමියන්
විසින් බවත් මෙහිදී සඳහන් කර තිබේ. පහත පළවන්නේ එම විස්තරයයි.

වාර්ෂිකව ඉතා උසස් අන්දමින් පෙරහර පවත්වන බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර සඳහා ඇතෙකුගේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

ඒ සම්බන්ධව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරයට ඇතකු පරිත්‍යාග කිරීමට තීරණය කරන ලදී. නාහිමියන්්ගේ ඉල්ලීමකට අනුව එම රාජතාන්ත්‍රික කටයුත්තකට අදාළ ඇත් පැටවා තෝරාගැනීමේ සිට ලංකාවට රැගෙන ඒම දක්වාම ක්‍රියාවලියට දායකවීමේ වාසනාව මා හට උදාවිය.

අපි 2012 වසරේ ස්වාමින්වහන්සේ සමග මියන්මාරයට ගොස් සුදුසු ඇත් පැටවකු තෝරා ගැනීමේ කටයුත්ත සිදුකළෙමු. පෙරහරක සධාතුක කරඬුව වැඩමවීම සඳහා සුදුසු වන ඇතෙකුට තිබිය යුතු දේහ ලක්ෂණ අනුව එම ඇතා සද්ධන්ත කුලයට අයත් විය යුතුය. එවන් දේහ ලක්ෂණ සහිත අංග සම්පූර්ණ නිරෝගී ඇත් පැටවකු තෝරාගැනීමේ භාරදූර වගකීමේ මමද කොටස්කරුවකු වීමි.

මියන්මාරය බෞද්ධ රාජ්‍යයක් වන අතර ඉතාම සුන්දර දේශයක් වූ එහි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දැව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සතුව විශාල අලි ඇතුන් සංඛ්‍යාවක් සිටිති. බෞද්ධ කටයුතු සඳහා ලංකාවට මීට පෙර අවස්ථාවලදීද මියන්මාර් රජයෙන් හස්තීන් පරිත්‍යාග කොට ඇත. ශ්‍රී දළදා මාලිගාවේ ‘මියන් රජා’ හස්තියාද එවැනි සතෙකි.

අදාළ සාකච්ඡාවලින් පසුව

යැන්ගුන් අගනුවරට දුරින් පිහිටි ස්ථානයකදී අප වෙත හස්තීන් කිහිප දෙනෙකු ඉදිරිපත් කළ අතර සුදුසු ඇත් පැටවකු අප විසින් තෝරා ගන්නා ලදී. අදාළ දේහ ලක්ෂණ මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද පරීක්ෂා කරන ලදී. ඉතාම සුදුසු වයස වන අවුරුදු 08ක පමණ පැටවෙකු තෝරා ගැනීමට අපට හැකි විය.

එම තෝරා ගැනීමේදී සත්වයාගේ බාහිර පෙනුම, තේජාන්විතභාවය, හිස කෙළින් තබා සිටිනා ඉරියව්වේදී සෘජු බව, දළවල පිහිටීම හා හැඩය. එම දල යුවළ වයසට සාපේක්ෂව වර්ධනය, සිරුරේ මහත ආදී දේහ ලක්ෂණ, වලිගයේ ස්වරූපය ආදිය පිළිබඳවත් කරඬුව තබන ආසනය වන ඇතාගේ කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටීම ආදී වූ බාහිර ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වූවෙමු. එපමණක් නොව ඇතාගේ චර්යාව, කීකරු බව, පුහුණු කරගත හැකිවීමට අදාළ හැසිරීම් ලක්ෂණද නිරීක්ෂණය කරන ලදී.

එම ලක්ෂණවලට අනුව ඇත් පැටවුන් කිහිප දෙනා අතරින් වඩාත් සුදුසු ඇත් පැටවා පිළිබඳව අවධානය යොමු විය. මාගේ ප්‍රධාන වගකීම වූ ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලදී. හිස සිට පාදය දක්වාත් හිස සිට පසුපස දක්වාත් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලදී. ඉතා සෞඛ්‍ය සම්පන්න මෙම ඇත් පැටවාගේ රුධිර නියැදියක්ද රසායනාගාරයට යොමු කරන ලදී. එම පරීක්ෂණ සියල්ල තුළින් ඇතුගේ නිරෝගීභාවය සනාථ කළ අතර ඇත් පැටවා පුහුණු කොට ලංකාවට රැගෙන යාමට අදාළ කටයුතු නොපමාව සිදු කෙරිණි.
ඇතකු ප්‍රවාහනය කිරීම සඳහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ නැව්ය. නමුත් නැවකින් ඇතකු ප්‍රවාහනයේදී දින ගණනාවක් මහ සයුර මැදින් පැමිණීමේදී විවිධ රෝගී තත්ත්වයනට ගොදුරුවීමට ඉඩකඩ ඇතිවෙයි. මේ පිළිබඳව සලකා බලා ඇත් පැටවා ප්‍රවාහනයට ගුවන් යානයක් යොදා ගැනීමට තීරණය විය. ගුවන් යානාවකින් ඇතකු ප්‍රවාහනයේදී උස අඩි 06ට වඩා අඩු විය යුතුවේ.

මියන්මාරයේ සිට ලංකාවට හස්තියා ගුවනින් ගෙන ඒම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. දෙරටේ සත්ව නිරෝධායන නීති රීති, මියන්මාරයේ ප්‍රවාහන බලපත්‍ර, ලංකාවේ ආනයන බලපත්‍ර, දෙරටේ ඛිජ්ඊඉ සහතික (විදේශයකට සතුන් ලබාදීමේදී ඉදිරිපත් කළ යුතු බලපත්‍රය) සෞඛ්‍ය වාර්තා ආදී වැනි කටයුතු රැසක් මැද වන කටයුත්තකි. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරන ලදී. තෝරා ගත් ඇත් පැටවා යැන්ගුන් සත්වෝද්‍යානයේ මසක් තිස්සේ රඳවා අදාළ පරීක්ෂණ සිදුකළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ප්‍රවාහනය සිදුකර ගැනීමට සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවෙන් චෙක් ජනරජයේ ප්‍රාග් සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙදෙනෙක් රැගෙන ගියේ ගුවන් හමුදාවේ හර්කියුලිස් වර්ගයට අයත් ඛි 130 නම් ගුවන් යානයෙනි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මිලිටරි ගුවන් යානයක් යොදාගෙන අලි ප්‍රවාහන කළ අවස්ථාව විය.

එම කටයුතු සූදානම්ව 2013 ජූලි 04 දින අදාළ ඇත් පැටවා ඛි 130 ගුවන් යානයෙන් පැය 06ක ගුවන් ගමනකින් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට රැගෙන එන ලදී. එයද විශාල මෙහෙයුමක් විය. 2013 ජූලි 01 දින ඛි 130 ගුවන් යානයෙන් අපි මියන්මාරය බලා ගිය අතර ප්‍රථම වතාවට ගුවන් හමුදා යානයකින් ඇත් පැටවකු ලංකාවට රැගෙන එන ලද අවස්ථාව පිළිබඳ අත්දැකීමට මුහුණ දුන්නෙමු. අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන රෙගුලාසිවලට අනුව ජීවී සතුන් ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු නීති රීතිවලට අනුව ලීවලින් සකස් කළ විශේෂිත පෙට්ටියක ඇත් පැටවා පුරුදු කර එයට ඇතුළු කොට යානයට පෙට්ටිය පටවන ලදී. ඉතා ප්‍රවේශමෙන් සියල්ල සකසා ගුවන් ගතවූ අතර යානයේ ඇතා රඳවා සිටීමේදී යානය ගොඩබැස්වීමේදී ඇතා වැටීම හෝ ඉදිරියට ඇති දළවලට අනතුරක් වීම වළකා ගත යුතු විය. අඩි 30000ක් පමණ ඉහළින් ඉතා ප්‍රවේශම් සහගතව ගුවන් යානය පැය 06ක් තිස්සේ පියාසර කිරීමෙන් අනතුරුව කටුනායකට ළඟා වූ අතර ගොඩබැස්වීමේදී ඇතා සිටි පෙට්ටියේ දොර හැර දළ ඇනීම් වළකා ගත් අතර දොර යළි වැදීම වළකන ලෙසට අල්ලා සිටීමට මියන්මාර් ඇත්ගොව්වාව යොදවන ලදී. ඉතා ප්‍රවේශමින් ඇත් පැටවා සහිත සී. 130 යානය ගුවන් නියමුවන් විසින් ගොඩබැස්ස වූ අතර යානයේ කපිතාන් ප්‍රභාෂ් මහානාම මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩලය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.


කටුනායක ගුවන් තොටු‍පොළේදීම ට්‍රක් රථයකට ගොඩ කළ ඇත් පැටවා බෙල්ලන්විල විමලරතන නාහිමියන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව විහාරස්ථානයට ගෙන යන ලදී. විහාරස්ථානයට ඇත් පැටවා ළඟා වනවාත් සමගම මල් වැස්සක් පතිත වූ අතර එය සුබ පෙර නිමිත්තක ලකුණක් විය.

ඇතා සමග පැමිණි මියන්මාර් වෛද්‍යවරයා, සහයකයා හා අලි බලන්නාත් මෙහි නතර වී සිටීමින් ක්‍රම ක්‍රමයෙන් විහාරස්ථාන අලි බලන්නාට සතා හුරු කරන ලදී. කුඩා දරුවකු වැනි ගතිගුණවලින් යුත් ඉතා ඉහළ ගණයේ මෙම ඇත් පැටවාට විමලරත්න හිමියන් විසින් ‘මියන් කුමාර’ නමින් නම් තැබූහ.

එතැන් සිට මාසයක් පමණ නිතර නිතර බෙල්ලන්විල විහාරස්ථානයට ගොස් ඇත් පැටවාගේ සුවදුක් සොයා බැලීමේ පශු වෛද්‍ය රාජකාරිය මම ස්වෙච්ඡාවෙන්ම ඉටු කළෙමි.

වසර 2014 පෙරහර සඳහා මුලින්ම ඇත් පැටවා දායක විය. මියන් කුමාර ඉතා දඟකාර, තරමක හිතුවක්කාරි ගති ඇති සුන්දර ඇත් පැටවෙකි. අනාගතයේ දිනක ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමට තරම් වාසනාවක් මෙම ඇත් පැටවාට තිබෙන බව මාගේ විශ්වාසයයි. අනාගතයේ දිනෙක මෙම ඇතා පෙරහරේ ධාතුන් වහන්සේ වැඩම කරනා මොහොතක, මෙම සතා තෝරා ලංකාවට රැගෙන ඒමේ ක්‍රියාවලියේදී එහි පශු වෛද්‍යවරයා ලෙස වගකීම දැරීමට ලැබිම හේතුවෙන් ඉතා ඉහළ ආත්ම තෘප්තියක් ලබන බව නිහතමානීව සඳහන් කරමි.

මියන් කුමාර ලංකාවට ගෙන ඒමේ සියලු කටයුතුවලදී සම්බන්ධවූ විදේශ අමාත්‍යාංශයේ චානක, බෙල්ලන්විල විහාරස්ථානයේ ලසන්ත ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතුයි. ඇත් පැටවා ලංකාවට පැමිණි පසුව මුලින්ම කරන ලද්දේ මෙහි ආහාර වර්ගවලට හුරු කරවා ගැනීමය. එය එතරම් අපහසු නොවූයේ ලංකාවට සමාන ආහාර වර්ග/ශාක වර්ග මියන්මාරයේදීද ලබාදෙන නිසාය. පිටගැස්ම, ධූලකාභය, ජලභීතික එන්නත, පණු හරණය ආදී කටයුතුද අපි සිදු කළෙමු.

ඒ හැර විටමින් වර්ග හා ඛනිජ ලවණ ද ලබා දෙමින් ඇත් පැටවාගේ මූලික සෞඛ්‍ය කාරණා කටයුතු කරනු ලැබිණි. මෙම ඇත් පැටවා මියන්මාරයේදී වැඩියෙන්ම ඇබ්බැහි වී තිබූ ආහාරය සියඹලාය. මේ නිසා සියඹලා ගුලියක් පෙන්වූ විට සතාව හැසිරවීම ඉතා පහසු විය. එය උපයෝගී කරගෙන ලංකාවේදී මූලික පුහුණු කටයුතු කරගත හැකි විය. වයසින් මුහුකුරා යන විට යම් දඩබ්බර ගති ලක්ෂණද සහිත වන මියන් කුමාර ඇත් පැටවා අලි බලන ස්ටැන්ලි විසින් යම් පමණකට හුරුකර ගත්තද නව යොවුන් වියේ පසුවන මේ විදේශීය අමුත්තා දැනටද කෙළිලොල් හැසිරීම් බොහෝ විට පෙන්වයි. බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ඇත්පැටවා බැලීමට විහාරස්ථානයට පැමිණෙන සෑම බැතිමතෙක්ම අමතක නොකරති.

සටහන -හිටපු සත්වෝද්‍යාන පශු වෛද්‍ය ජගත් ජයසේකර

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිපති හිමියන් මියන්කුමාර ඇත් පැටවාට පෙර අවස්ථාවක ආහාරදෙන දර්ශන (වීඩියෝ) පහත පළවේ.