අද දක්වා පැවති ජල සම්පාදන වෘත්තිීය සමිති වැඩ වර්ජනය ජයග්‍රාහී ලෙස අවසන් කළ බව ඔවුන් මාධය නිවේදනයකින් දැනුම් දී තිබේ.එම නිවේදනය පහත පරිදිය.
ජලසම්පාදන සේවක වෘත්තීය ක්‍රියාමාර්ග ජයග්‍රාහීව අවසන් කිරීම.

ජලසම්පාදන සේවකයින් විසින් 2018 නව වැටුප් වැඩිවීම ලබා නොදීමට එරෙහිව ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අද දින දහවල් ජලසම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මහතා විසින් ලබාදුන් එකඟතාවයන් මත අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා විසින් ලබාදුන් ලිඛිත එකඟතාවය මත අවසන් කරන ලදි.


අද දින දිනාගත් ඉල්ලීම් වූයේ,

1.    2018 නව වැටුප ලෙස වත්මන් වැටුපෙන් 25% ක් ලබාදීම.

2.    2015 වසරේ සිදුකළ වැටුප් වැඩිවීමේ විෂමතා ඉවත් කිරීමට, ඒ සඳහා නිපුනතාවය ඇති පිළිගත් බාහිර ආයතනයකට යොමුකර විසඳුම් ලබාදීම.

ඒ අනුව අපගේ ප්‍රධාන ඉල්ලීම් වෙනුවෙන් ලබාදුන් ලිඛිත එකඟතාවය මත පෙබරවාරි මස 06 වන දින දහවල් 1.00 සිට සියළු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමටත් සියළු සේවා කටයුතු යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාමටත් තීරණය කළෙමු.

අපට ලිඛිතව ලබාදුන් පොරොන්දු  ඉටුකරනු ඇතැයි අප විශ්වාස කරන අතර, එසේ නොවන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවද සඳහන් කරන්නෙමු.

අපගේ අරමුණ වූයේ ජල සැපයුම අඩාල කිරීමවත් ජනතාව අපහසුතාවයට පත් කිරීමවත් නොවන අතර අතිශය යුක්ති සහගත ඉල්ලීම් දිනාගැනීම අපගේ අරමුණ විය.

මෙම උද්ඝෝෂණ හා වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවෙන් මාධ්‍ය ආවරණ ලබාදුන් ඔබ මාධ්‍ය ආයතනය ඇතුළු අනෙකුත් සියළු මාධ්‍ය ආයතන වෙත අපගේ ස්තුතිය මෙයින් පුද කරන්නෙමු.

ස්තූතියි. මෙයට,
සියළු වෘත්තීය සමිති වෙනුවෙන්,  සම කැඳවුම්කරු ඉංජිනේරු උපාල් රත්නායක