කැනඩාවේ මහාචාර්යවරයෙකු ලෙස පෙනී  සිටිමින් පලුගොල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක
රැදී සිට විදේශ රැකියා ලබාදෙන බවට  පුද්ගලයන් පස්දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාගෙන ප්‍රදේශයන් පලා ගොස් ඇති චීවරධාරීයෙකු අත්අඩංගුවට ගැනීමට නිකවැරටිය පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

පලුගොල්ල - දෙව්රම් වෙහෙර විහාරස්ථානයට පසුගිය ජනවාරි පළමුවැනිදා පැමිණි ඇත්තේ මෑතකදී අපවත් වූ විහාරධිපති  හිමියන්ගේ සමීපතම හිතවතෙකු බවට පෙනී සිටිමින් බව එම දායක සභාව පොලීසියට පැමිණිලිලක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.

 අනතුරුව අසල්වැසි විහාරස්ථානවලට

ගොස් ඇති සැකකරු දහම්පාසල් නංවාලීමටත්, වැටුප් ලබාදීමටත් ලියකියවිලි සකසා ප්‍රදේශයේ මංමාවත් සංවර්ධනය කිරීමට මැහුම් කටයුතුද සිදුකර ප්‍රදේශයේ දරුවන් ලැප්ටොප් 100ක් හා පරිගණක 10ක් බෙදා දෙන බවටද මේ සියලු
දේ කැනඩා රටින් ලැබෙන බවද පවසා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු විසින් ප්‍රදේශයේ දායකයන්  දෙදෙනෙකුගේ නමට ලබාගත් සිමිපතක් හා ගෙවීමේ පදනමට ලබාගත් ජංගම දුරකථනයක් භාවිතයෙන් සියලු සම්බන්ධතා පවත්වා ඇති බවත් ජංගම දුරකථනය ලබාගත් මුදලද අදාළ දායක මහතාට ගෙවීමට සිදු වී ඇති බවද දායක සභාව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.  මේ අතර පසුගිය 25දා කැනඩා නියෝජිත පිරිසක් විහාරස්ථානයට පැමිනෙන බවත්,  මෙදින ප්‍රදේශයේ දරුවන්ට බෙදා දීමට ලැප්ටොප් 100ක් කොමිපියුටර් 100, දහමි පාසල් සඳහා සුදු රෙදි. පුටු ඇතුළු ආධාර රැසක් රැගෙන එන බවද පැවසු චීවරධාරීයා කැනඩා නියෝජිතයන් කැඳවාගෙන ඒමට ගියදා යළි නොපැමිණි බව එහි සඳහන් වෙයි.

සැකකරු පළා යෑමෙන් අනතුරුව තලාව ප්‍රදේශයේ කීපදෙනෙකු සැකකරු විසින් රට රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් මුදල් ලබාගත් බව කියමින් විහාරස්ථානයට පැමිණි බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
නිකවැරටිය පොලිස් ස්ථානාධිපති අතුල  කරුණාපාල මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීන් කණ්ඩායමක් පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වති.