කොත්මලේ ජලාශයට යටවූ කඩ‍ෙදාර විහාරයේ බුදු පිළිම වහන්සේ ගිම්හානයට යළි මතුවීමත් සමඟ දහස් ගණනක් වූ සැදැහැවතුන් එය වැඳ පුදා ගැනීමට දිවයිනේ සතර දිගින් පැමිණෙන අතර එම ජනතාව සමඟ
විනෝදයට පැමිණෙන තරුණ පිරිස් බුදු පිළිම වහන්සේට නිගරු කරන ආකාරයෙන් හැසිරෙන ශෝචනීය දර්ශනද දැකගත හැකිය.
එවැනි තරුණ පිරිසක් මේ බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැලඹී සිටින අතර ඔවුන් ඒ සඳහා

පරීක්ෂණයක් කරන ලෙසත් ඓතිහාසික වූ එම ප්‍රදේශය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටිති.

වර්ෂ 1979දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ජලාශ පහ අතුරින් ඉහළින්ම ඇත්තේ කොත්මලේ ජලාශයයි. මෙය ඉදිකිරීමේදී අවට ගම්මාන රැසක් සමඟ වෙහෙර විහාර 16ක් ද ජලාශයට යටවූ අතර ජලාශ බැම්ම ආසන්නයේම යටවූ විහාරස්ථානය කඩ‍ෙදාර ශ්‍රී බිම්බාරාමයයි.

මීට වසර 40 කට ආසන්න කාලයකදී ජලාශයට යටවූ මේ
විහාර ගේ නටබුන් ඉඩෝරය සමඟ යළි මතුවන අවස්ථාවල අෑත ගම්මානවල සිට එය වැඳ පුදා ගැනීමට මෙසේ පැමිණෙන පිරිස් තම අතීත ගම්මානයද ගෞරවයෙන් සිහිපත් කරයි.

කොත්මලේ ජනතාවගේ හදවත බඳු මේ බුදුපිළිම වහන්සේට ඡායාරූපයේ දැක්වෙන පරිදි අවමන් සහගත ක්‍රියා සිදුකිරීම ඉවසාගත නොහැකි බව ඔවුහු පවසති.

ගම්පොළ - මාධව බණ්ඩාර