හමිබන්තොට වරාය පරීශ්‍රයේදී හිටපු නාවික හමුදාපති වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් ප්‍රදේශීය මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් නාවික හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා තිබේ.

නාවික හමුදා පාර්ශ්වයෙන්

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉකුත් දා ලිපියක් යොමු කරමින් අදාළ සිද්ධිය පිළිබඳ කනගාටුව පළකරන බවත් පහර කෑමට ලක්වූ බව කියන ප්‍රාදේශීය මාධ්‍යවේදියාගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටින බවත් දැනුම් දී තිබිණි. තමන් වරාය අධිකාරිය යටතට බඳවාගෙන රැකියාව ස්ථිර කරන ලෙස ඉල්ලා හම්බන්තොට වරාය ත්වකයින් 2016 දෙසැම්බර් 10 වැනිදා කළ විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට හිටපු නාවික හමුදාපතිවරයා විසින් පහර දී තිබුණි.

 එම පහරදීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර 2017 ජනවාරී මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

අදාළ නඩුව වසරකට අධික කාලයක් විභාග වෙමින් තිබියදී නාවික හමුදා පාර්ශවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියාගන් නාවික හමුදාව කොන්දේසි විරහිව සමාවක් ඉල්ලන බවයි.

ඒ අනුව නඩුව සමථයකට පත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළකිරීත් සමගම නඩු විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.