විවිධ වංචනික ක්‍රියාවන් හා පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා කිසියම් පිරිසක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ නම භාවිත කරමින් පොලිසියට සහ විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබාදී යම් යම් අයුතු වැඩ කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විමසූ විට සඳහන් කළේ තමන් විසින් එවැනි දුරකතන ඇමතුමක් කිසිදු අවස්ථාවක ලබා නොදුන් බවත් එවැනි දුරකතන ඇමැතුම් ලබා දී තිබෙන බවට තහවුරු වුවහොත් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද තමන් සූදානම් බවත්ය.
තමාගේ නම භාවිත

කරමින් මේ වන විට රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට සහ පොලිසියේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබාදී තිබෙන බව පැවැසූ හෙතෙම මෑතකදී එලෙස තම නම භාවිත කරමින් පොලිසියේ ඉහළ නිලධාරියකුට කතාකොට සැකකරුවකු නිදහස් කරන ලෙසත් ඉල්ලීම් කර තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පැවැසේ.

එවැනි දුරකතන ඇමතුම් ලබාදුන් පුද්ගලයන් දෙදෙනකු මේ වන විට හඳුනාගෙන සිටින බවත් මෙය යම්කිසි කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව කරගෙන ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවත් පැවැසූ අගමැති ලේකම් සමන් ඒකනායක මහතා එවැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු වහාම පොලිසිය වෙත ලබා දෙන්නැයි සියලුම ආයතන නිලධාරීන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මා විසින් සහභාගි විය යුතු ඇතැම් රාජකාරි කටයුතුවලදී තමාගේ නම භාවිත කරමින් ඇතැමුන් එම අවස්ථාවට සහභාගි වී තිබුණු අවස්ථාවලට පවා තමාට මුහුණ දීමට සිදුවූ බව පැවැසූ ලේකම්වරයා එම අත්දැකීම් නිසා පසුව තමන් කවුදැයි හඳුන්වා නොදී රාජකාරි කටයුතු සඳහා යොමු වූ බවත් ඉදිරියටත් එවැනි දුරකතන ඇමතුම් ලබාදෙමින් තමාගේ නම අයුතු ලෙස භාවිත කරයි නම් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනකු සමන් ඒකනායක මහතා දැනුවත් කර තිබේ.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර, චාමර අමරසූරිය